විමල් ගේ බඩේ අමාරුව උසාවියේ

විමල් ගේ බඩේ අමාරුව උසාවියේ

දිගින් දිගටම බඩේ අමාරුවක් තිබෙන බවට පවසමින් උසාවි නොඑන විමල් වීරවංස ගේ ට මීළඟ උසාවි දිනයේදී අධිකරණයට පැමිණෙන්නැයි නියෝග කොට ඇත.

සේවාදායකයා රෝගී තත්ත්වයෙන්

2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ජුලි 18 වනදා කැඳවා තිබුණේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම සඳහා ය. නඩුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී වන නමුත් මේ දක්වාම විවිධ හේතූන් මත එය විභාගයට ගැනීමට නොහැකි වී තිබේ.

මීට පෙර අවස්ථා ගණනාවකදීම සිදුව ඇති පරිදි විමල් වීරවංශ මහතා ජුලි 18 වනදාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයකු අධිකරණය හමුවේ පෙනී සිටිමින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ අතර වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත ප්‍රනාන්දු එය අධිකරණයට ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවට කරුණු දැක්වීය.

ගැස්ට්‍රයිටිස් රෝගයක්

එහිදී වෛද්‍ය සහතිකය අධිකරණය හමුවේ කියවනු ලැබුණු අතර එහි සඳහන්ව තිබුණේ වීරවංශ මහතාට ගැස්ට්‍රයිටිස් රෝගයක් පවතින බවත් ඔහු බලවත් රෝගී තත්වයකින් පෙළෙන බැවින් දින 5ක් විවේක ගතයුතු බවත් ය. එම වෛද්‍ය සහතිකය නිකුත් කර තිබුණේ ජුලි 14 වනදා ය.

පානදුර ප්‍රදේශයේ මෙඩිකෙයා නම් පෞද්ගලික වෛද්‍ය ආයතනයක ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර තිබුණු එම වෛද්‍ය සහතිකයේ වෛද්‍යවරයාගේ අත්සන කේතුමතී නම් මාතෘ නිවාසයේ රබර් මුද්‍රාව යටතේ තබා ඇති බවත් එහිදී අනාවරණය විණි.

මේ තත්වය තුළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියාගෙන් වැඩිදුර කරුණු විමසූ අතර ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ වීරවංශ මහතා පසුගිය දින තුනම නිවසෙන් පිටතට නොගොස් කාමරය තුළම රැඳී සිටි බවයි.

අවස්ථා 7කදී බඩේ අමාරුව

 

කෙසේවෙතත් මෙහිදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය සිහිපත් කළේ විත්තිකරු මීට පෙර අවස්ථා ගණනාවකදීම රෝගී බව පවසමින් අධිකරණය මඟහැර සිටි බවත් එම අවස්ථාවලදී සිතාසි නිකුත් කර ඇති බවත් ය. ඔහු 2019 ඔක්: 02දා, 2021 පෙබ: 16දා, 2022 සැප්: 13දා, 2023 ඔක්: 27දා, 2023 දෙසැ: 12දා සහ 2024 මාර්තු 01දා වශයෙන් මෙයට පෙර අවස්ථා 7කදී බඩේ අමාරුව බව පවසමින් අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව පෙන්වා දුන් සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට බලවත් බාධාවක්

එම තත්වය දැඩි අවධානයට යොමු කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙවැනි තත්වයක් කිසිවිටෙක අධිකරණය අනුමත නොකර බවත් දෙපාර්ශ්වය එකඟතාවෙන් නඩු දිනයක් යොදාගත් පසුව විත්ති පාර්ශ්වය වෛද්‍ය සහතික ඉදිරිපත් කර අධිකරණයට නොපැමිණ සිටින්නේ නම් එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට බලවත් බාධාවක් බවත් ය.

ඒ අනුව, විත්තිකරුට වෛද්‍ය සහතිකය නිකුත් කළ මෙඩිකෙයා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය රොෂාන් ලියනාරච්චිට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කළ විනිසුරුවරයා එදිනට විත්තිකරුට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එමගින් අදාළ වෛද්‍යවරයා විත්තිකරුට කුමන දිනවල කුමන වේලාවන් තුළදී ප්‍රතිකාර කළේ ද යන්න තහවුරු කළ යුතු බවටත් නියම කරන ලදී.

RN

Related Articles