ආණ්ඩුවේ බලධාරීන්ගේ අනුග්‍රහය ඇතුව කොටපොල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීම හේතුවෙන් රක්ෂිතය විනාශ වෙන බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.
රාගම රෝහලේ වෛදයවරයෙක් සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා අක්කර 22 ක් පමණ වන ගෝනිහේනවත්ත මධ්‍යම පාන්තික වනාන්තර ඉඩම දක්වා පිවිසීමට මාර්ගයක් ඉදිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම රජයේ කැලය තුළින් මාර්ගය ඉදි කරමින් පවතී.
වනාන්තර ඉඩමේ සංචාරක හෝටල් වයාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුමක් ඇත.
මෙම වනාන්තර ඉඩමට පිවිසීමට විකල්ප මාර්ග 5 ක් හඳුනාගෙන තිබිය දී සුවිශේෂී වනාන්තර පද්ධතියක් දෙකඩ කරමින් ඇළ මාර් ග තුනක් සම්පූර්ණයෙන් ම අවහිර කර මෙම මාර්ගය ඉදි කරමින් තිබේ.
හානි අවම විකල්ප මාර් ග වෙනුවට නීති විරෝධී ව රජයේ වනාන්තරයක් තුළින් මාර් ග සකස් කිරීමෙන් සිදු වන විශාල හානි කර තත්ත්වය පිළිබඳ ව අවධානයට ලක් කර නොමැත. අංශක 45 ට වඩා වැඩි ආනතියක් සහිත කඳු බෑවුම්වල ඩෝසර් යන්ත්‍ර ආධාරයෙන් පස් කඳු හා කළු ගල් කඩා ඉවත් කර මාර් ග සැකසීම සිදු කර ඇත. වනාන්තරය තුළ පිහිටි ඇළ මාර් ග සම්පූර්ණයෙන් ම අවහිර කර ජලය ගලා යෑමේ මාර් ග වෙනස් කර ඇති අතර ඇළ ඉවුරුවල කපා ඉවත් කළ පස් හා කළු ගල් ගොඩ ගසා තිබේ.
මෙම වනාන්තර පද්ධතිය පහතරට වැසි වනාන්තර ආවරණයක් සහිත ප්‍රදේශයක් වන අතර මෙහි ලංකාවට ආවේණික මහ කොණ්ඩ කවුඩා (Crested Drongo), හබන් කුකුළා (Spurfowl), රත් මහ කෑරලා (Crimson backed Woodpecker), අලු කෑදැත්තා (Grey Hornbill), ගිරා මලිත්තා (Lorikeet), රන් නලල් කොට්ටෝරුවා (Yellow – fronted Barbet), හිස කළු කොණ්ඩයා (Black – caped Bulbul) වැනි පක්ෂි විශේෂ වාර් තා වේ. මීට අමතර ව වනාන්තරවාසී ප්‍රමාණයෙන් විශාල සමනල විශේෂ වන Red Helen, Ceylon Birdwing, Clipper වැනි විශේෂ ගණනාවක් වාර්තා වේ. මෙරටට ආවේණික ගනයකට අයත් වන පිණුම් කටුස්සා (Otocryptis wiegmanni) හා ලංකාවට ආවේණික මූකලන් හාල්දණ්ඩා (Dendrelaphis schokari) මෙම වනාන්තරයෙන් වාර්තා වේ. මෙවැනි ජීවී විශේෂ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයකින් තොර ව මෙම මාර්ගය ඉදි කිරීම හා ඒ සඳහා අනුමැතිය ලබා දීම ඉතා ම හානි කර ක්‍රියාවකි.
ඉඩම් කොමසාරිස් ජෙනරාල් හා වන සංරක්ෂණ ජෙනරාල් මගින් නීති විරෝධී ව මෙම මාර්ගය ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බවයි සජීව චාමිකර පෙන්වා දෙන්නේ.
පනතේ 20(2) උප වගන්තියට අනුව රජයට අයත් වෙනත් වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හෝ අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතුය. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ඇත්තේ මෙම නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට මෙම වනාන්තරය විනාශ කිරීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින්ම අවසර ලබා දීමය.