යුනුස්: අභියෝග අභියස

යුනුස්: අභියෝග අභියස

බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානී යුනුස් ඉදිරියේ අභියෝග රැසක්

 

Image result for grammen yunus

සාමය නැවත ස්ථාපිත කිරීම , ආර්ථිකය පණ ගැන්වීම , නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග පෑදීම , රාජ්‍ය සේවය, පොලිසිය ඇතුළු රටේ ආයතන නැවත සාමාන්‍ය පාලනයට අවතීර්ණ කිරීම යූනුස් ඉදිරියේ ඇති අභියෝගයයි. බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සඳුදා රටින් පලායාමේ දේශපාලන අර්බුදය හමුවේ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස බංග්ලාදේශයේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු සහ ව්‍යවසායකයකු වන මුහම්මද් යුනුස් පත්වී ඇත .එය කැරලිකාර සිසුන්ගේ හා තරුණයන්ගේ ඉල්ලීමයි. 84 හැවිරිදි යුනුස්, හසීනාගේ වසර 20 ක අයෝමය පාලනයේ විවේචකයෙක් විය. 1971 යුද ප්‍රවීණයන්ගෙන් පැවත එන්නන් සඳහා 30% රැකියා කෝටාවකට එරෙහිව විරෝධතා ආරම්භ විය. එය ජුලි 21 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අඩු කරන ලද නමුත් එය විරෝධතාකරුවන් සන්සුන් කළේ නැත. “ අපේ සුන්දර රට අපි ආරක්ෂා කර එය අපටත් අපේ අනාගත පරම්පරාවටත් අපූරු රටක් බවට පත් කළ යුතුයි,” යනුවෙන් යුනුස් වාර්තාකරුවන්ට පවසා තිබේ. 300කට වැඩි පිරිසක් මරා දැමූ සහ දහස් ගණනක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ මාරාන්තික විරෝධතාවයකින් පසුවයි යූනුස් රට භාර ගන්නේ.

Bangladesh's main opposition holds a public rally as an interim ...
පොලීසිය අක්‍රීයයි වාහන හසුරුවන්නේ සිසුන්

 

ස්වාධීන බංගලාදේශයක්

දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වන යුනුස් 1940 දී එවකට නැගෙනහිර පකිස්ථානයේ දකුණු වරාය නගරයක් වන චිතගොං අසල ගමක උපත ලැබීය. ඔහු 1961 දී ඩකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. ඔහු 1969 දී ඔහුගේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් මත 1965 දී එක්සත් ජනපදයේ වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1971 පකිස්තාන හමුදාවට එරෙහි විමුක්ති යුද්ධයේදී යුනුස් ස්වාධීන බංගලාදේශයක් බිහිකිරීමේ ප්‍රයත්නයන්ට සහාය දැක්වීය. ඔහු එක්සත් ජනපදයේ නැෂ්විල් නගරයේ පුරවැසි කමිටුවක් ආරම්භ කළ අතර පාකිස්තානයට මිලිටරි ආධාර නැවැත්වීමට එක්සත් ජනපද කොන්ග්‍රසයට බලපෑම් කළ වොෂින්ටන් ඩීසී හි බංග්ලාදේශ තොරතුරු මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට උදව් කළේය. 1972 දී, යුනුස් ස්වාධීන බංගලාදේශයකට ආපසු ගිය අතර, රටේ නව සැලසුම් කොමිසමේ සේවය කිරීමෙන් කෙටි කාලයකින් පසුව, චිතගොං විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සේවයට බැවුණි. 1976 දී ඔහු විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර කටයුතුවල කොටසක් ලෙස වසර කිහිපයකට පෙර සාගතයෙන් පීඩාවට පත් චිතගොං හි අවට ගම්මානවලට ගියේය. යුනුස් ගමේ මිනිසුන් 42 දෙනෙකුට ඩොලර් 27ක් ණයට දුන් අතර ඔවුන් සෑම කෙනෙකුම නියමිත පරිදි මුදල් ආපසු ගෙවූ බව සොයා ගත්තේය.

ග්‍රාමීන් බැංකුව

දුප්පත් ගැමියන්ට ලබා දෙන කුඩා ණය හෝ ක්ෂුද්‍ර ණය විශාල වෙනසක් ඇති කරන බව ඔහු සොයා ගත්තේය. සාම්ප්‍රදායික බැංකු ඔවුන්ට මුදල් ණයට නොදෙන අතර, ඔවුන් අධික පොලී අනුපාත අය කළේය . දුප්පත් ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ සැලසීම සඳහා ක්ෂුද්‍ර ණය ලබාදීමේ පුරෝගාමී වූ ග්‍රාමීන් බැංකුවේ (ගමේ බැංකුව) ආරම්භය මෙය විය. යුනුස් ඔහුගේ ග්‍රාමීන් බැංකුව හරහා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට උදව් කළ නිසා ඔහු “දුප්පතුන්ට බැංකුකරු” ලෙස ප්‍රසිද්ධ විය. 2006 දී යුනුස්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද්දේ “පහළින් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති කිරීම” සඳහා කරන ලද කාර්යය වෙනුවෙන් ය. ඒ වන විට බැංකුව ඩොලර් බිලියන 7 කට වඩා වැඩි ණය මිලියන හතකට වඩා ජනතාවට ලබා දී තිබුණි .ඔවුන්ගෙන් සියයට 97 ක් කාන්තාවන්ය. ආපසු ගෙවීමේ අනුපාතය සියයට 100 කට ආසන්න ය. “දුප්පත් මිනිසුන් දිනපතාම දරිද්‍රතාවයෙන් මිදෙන බව මම දකිමි . අපට දරිද්‍රතාවයෙන් තොර ලෝකයක් නිර්මාණය කළ හැකි බව අපට පෙනෙනු ඇත . එහිදී දරිද්‍රතාවය අපට පෙනෙන එකම ස්ථානය කෞතුකාගාර, දරිද්‍රතා කෞතුකාගාර වනු ඇත,” යුනුස් පැවසීය. යුනුස් දැන් මුහුණ දී සිටින්නේ න්‍යායේ සීමාවෙන් ඔබ්බට දේශපාලනයේ රළු සහ අවුල් සහගත තත්ත්වයට ය. ඔහුගේ ක්ෂනික කර්තව්‍යය වනුයේ සති පහක මාරාන්තික විරෝධතාවලින් පසු ස්ථාවරත්වය යථා තත්ත්වයට බග්ලාදේශාය පත් කිරීමයි. නමුත් විශාල ප්‍රශ්නය වන්නේ ආහාර මිල ගණන් ඉහළ යාම සහ එකතැන පල්වෙන පුද්ගලික රැකියා අංශයක් ඇති ආර්ථික අර්බුදයයි.නව ආන්ඩුවට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ උද්ධමනය පාලනය කිරීමට සහ විනිමය අනුපාත ස්ථාවර කිරීමට අවශ්ය වනු ඇත. යුනුස්ගේ පත්වීම හොඳ තේරීමක් වන අතර ඔහුගේ ජාත්‍යන්තර පැතිකඩ මිලියන 170 ක දකුණු ආසියානු ජාතියට උපකාර වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි .

ඔහු සිවිල් පාලනය සහ ආධිපත්‍යය ඉක්මනින්ම ස්ථාපිත කළ යුතු අතර, සිවිල් පරිපාලනයට සහාය දීමේ සාමාන්‍ය භූමිකාව වෙත හමුදාව ආපසු යන බවට වග බලා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ දී, යූනුස්ට ඉන්දියාව සමඟ සුහද සබඳතා ඇති කර ගැනීමට සිදුවනු ඇත. ඉන්දියාව හසීනා මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ විරුද්ධවාදී හඬ මර්දනය කිරීම වැනි දෑ නොතකා ඇගේ පරිපාලනයට සහාය දුන්නේය. හසීනා දැනට ඉන්නේ ඉන්දියාවේය. නව රජය ඉන්දියාව සමඟ සහයෝගී සබඳතා පැවැත්විය යුතුය. මන්ද සතුරු ඉන්දියානු රජයක් බංග්ලාදේශයට ගැටළු ඇති කරයි.

හසීනාගේ කෝපයට

2007 දී දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමේ අදහස ඉදිරිපත් කිරීමෙන් පසු යුනුස් හසීනාගේ කෝපයට ලක් විය. පක්ෂයක් දියත් කිරීමේ යූනුස්ගේ මූලික අදහස පැමිණියේ ප්‍රධාන පක්ෂ දෙක වන හසීනාගේ අවාමි ලීගය සහ විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය දූෂණය සහ ඉහළ යන ආදායම් අසමානතාවයට විසඳුම් සෙවීමට අසමත් වීමේ පසුබිමට එරෙහිව ය. 2011 දී, එවකට 71 හැවිරිදි ගෞරවනීය ආර්ථික විද්‍යාඥයා දේශපාලන තර්ජනයක් ලෙස සැලකූ හසීනා, යුනුස් ග්‍රාමීන් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර, ඔහු දුප්පතුන්ගේ ලේ උරා බොන්නෙකු ලෙස හැදින්වීය. ඇගේ රජය පසුව ඔහුගේ ලාභ නොලබන ව්‍යාපාර පිළිබඳව මූල්‍ය විමර්ශන ආරම්භ කළේය. පසුගිය වසරේ ඔහු කම්කරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර දූෂණ නඩුවකටද හිර කළේය . යූනුස් හසිනා විසින් ගොඩනැගු බන්ග්ලාදේශ ආර්ථික සමෘද්ධිය නැවත ඇති කරනු ඇතැයි සිතමු.අද එරටේ ඇති වී තිබෙන භයන්කර වාතාවරණය මධ්‍යයේ මෙය පහසු නොවේ.රාජ්‍ය දේපල ගිණි තබමින් මිනිසුන් අමුඅමුවේ කැරලිකරුවන් විසින් පුලුස්සා ඝාතනය කරමින් මහා ඛේදවාචකයක්
සිදුවෙමින්  තිබේ.එය ඉක්මනින් සමනය වී එරටට සාමය උදා වේවා .

 

ජාත්‍යන්තර දේශපාලන විත්ති විචාරක ගාමිණී ගුණසේකර

Related Articles