ප්‍රජාතන්ත්‍රවාදය සේම අවතැන්වන සෙංකෝලය

ප්‍රජාතන්ත්‍රවාදය සේම අවතැන්වන සෙංකෝලය

”ජනතාව විසින්ම ජනතාව උදෙසා පත්කරගන්නා පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වේ”, හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.

මේ අර්ථවත් පද පෙලින් ප්‍රකාශවන්නේ සෙංකෝලයෙන් පිළබිඹු කරන පුළුල් හා ගැඹුරු අදහසයි.

සෙංකෝලය ජාතික අභිමානයේ සහ ව්‍යවස්ථාදායක බලයේ සංකේතයයි. හුදෙක් විචිත්‍ර වස්තුවකට වඩා, සෙංකෝලය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ හරය මූර්තිමත් කරයි. පාර්ලිමේන්තු සභා ගර්භය තුල ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ආරක්ෂකයා සෙංකෝලයයි.

පාර්ලිමේන්තුවේ කථානායක අසුන සහ සෙංකෝලය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට පරීත්‍යාග කරන ලද්දේ මීට වසර 75 කට පෙර එනම් 1949 ජනවාරි 11 වැනිදායි.

සෙංකෝලය ඉදිරියේ තබා ගෙන ජනතා නියෝජිතයන් රටට සහ ජනතාවට වඩාත් යහපත් සමාජයක් බිහිකිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට අණ පණත් ගෙනවිත් ඒවා සාකච්ජාකරමින් හා විවාද කරමින් සම්මත කරගැනීම සම්ප්‍රදාය වෙයි.

 

පාර්ලිමේන්තුවට අදහස් දක්වමින් නිදහස (දේශපාලන, ආර්ථික හා ආගමික), සමානාත්මතාව ඇතිකිරීමෙහිලා තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනතාව විසින් නියෝජිතයෝ පත්කර ගැනෙති. එයින් අදහස් කෙරෙන්නේ පුරවැසියන්ගේ ජීවිත කෙරෙහි එමගින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති රටක මහජන විවාදයට ඇති ඉඩකඩ ඇහිරෙන අතර, එවැනි තත්වයක් යටතේ ජනතාවගේ අදහස් නොසලකමින් පාලකයන් විසින් තීන්දු තීරණ ගනු ලැබේ. එය ඒකාධිපති පාලනයකි. ඒ යටතේ කථාකිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීම් පැවැත්වීමේ හෝ විරෝධය පෑමේ හෝ නිදහස නොතිබිණි.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වුවත්, එහි මූලික ලක්ෂණ හෝ නොතකා ජනතාවට අහිතකර ලෙස බලපාන පනත් සම්මත කරගත් සහ සම්මත කරගැනීමට වර්තමානයේ ගන්නා උත්සාහයන්ද දක්නට ලැබේ. පාර්ලිමේන්තු බහුතර බලය ආණ්ඩු පක්ෂයට හිමිවී තිබෙන නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම බලය රැකගැනීම උදෙසා ඕනෑම පනතකට නිහඬවම සහයෝගය දැක්වීමට පෙළඹෙන බව අද දක්නට ලැබේ. මෙය සෙංකෝලයටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් කරන බලවත් අගෞරවයකි.

මෙවන් අවස්ථාවලදී විරෝධය පලකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය වන සෙංකෝලය රැගෙන ඉවතට ගෙනයාමේ සහ එසේම ඉන් බලපෑම් සිදුකොට ඇති සිද්ධි ලෝකයේ විවිධ රටවලින් වාර්තාවී ඇත. එසේ විරෝධය පළවුනේ ජනතාවට අහිතකර, එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අවස්ථාවලදීයි.

 

ශ්‍රී ලංකාවේ එවැනි සිද්ධි දෙකක් අපට අසන්නට ලැබෙන බවයි ප්‍රවීන මාධ්‍යවේදී, දිගුකලක් පාර්ලිමේන්තු වාර්තාකරුවකු වශයෙන් කටයුතු කල දයා ලංකාපුර එම තොරතුරු අප හමුවේ තබමින් ප්‍රකාශ කලේ.

 

 

වාසුදේව නානායක්කාර-සෙංකෝලය රැගෙන සභාවෙන් ඉවතට

1990 ඔක්තෝබර් 18 වැනිදා හවස. තිබුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාට සභාව කල්තැබීමේ අවස්ථාවේදී ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව දී තිබුණා. නමුත් මුලසුනෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණ ඝෝසා කරන්නට පටන් ගත්තා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊට පිළිතුරු දෙමින් ඝෝසා කරන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන සභාවෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කළා. වේත්‍රධාරී රොනී අබේසිංහ මහතා ඔහු පසුපස දිව ගියා. රොනී අබේසිංහ මහතා සෙංකෝලය කෙසේ හෝ ආපසු ලබාගත් අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වාසුදේව නානායක්කාර මහතා බිම දමාගෙන පහර දෙන්නට පටන් ගත්තා.”

මේ තවත් අවස්ථාවක්-අක්මීමන දයාරත්න  හිමියන් දිවුරුම්දීම සඳහා  පැමිණි අවස්ථාවේදී කොලොන්නාවේ සුමංගල හිමට පහර දීම සහ සෙන්කොලය රැගෙන යාම

2004 ජුනි 8 වැනිදා එනම් ජාතික හෙළ උරුමය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණි මුල්ම අවස්ථාව. ඔවුන් අතර සිටි කතලුවේ රතන හිමියන් පැමිණිදාට පසු දාම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වුණ . එම මන්ත්‍රීධූරයට අක්මීමන දයාරත්න  හිමියන් දිවුරුම්දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. නමුත් ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබුණා. සාමාන්‍යයෙන් අලුතින් මන්ත්‍රීවරයකු දිවුරුම්දීමට පැමිණි විට වේත්‍රධාරියා කරනු ලබන්නේ සභාවේ ප්‍රවේශය අසල පුටුවක් තබා එම මන්ත්‍රීවරයා වාඩි කරවා තැබීමයි. කථානායකවරයා පැමිණ පාර්ලිමේන්තුව රැස්කොට නවක මන්ත්‍රීවරයකු දිවුරුම් දීමට යන බව ප්‍රකාශකිරීමත් සමගම වේත්‍රධාරියා විසින් එම මන්ත්‍රීවරයා කැඳවාගෙන යනවා. නමුත් අක්මීමන දයාරත්න හිමියන් දිවුරුම් දෙන එදින සභා ගැබේ තබා තිබූ පුටුව කවුරුන් හෝ ඉවත්කොට තිබුණා, දෙවැනි වරටත් පුටුවක් ගෙනවිත් තිබුනත් එයත් ඉවත්කොට තිබුනා.

මෙහිදී කලබලයක් ඇතිවන බව දැනගත් ජාතික හෙළ උරුමයේ භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවේ ඇති ඔවුන්ගේ කාමරයට දයාරත්න හිමියන් කැඳවාගෙන ගියා. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ සීනුව නාද වන විට ඒ හිමියන් මැදිකොට ගෙන ඔවුන් පැමිණ උන්වහන්සේ වාඩිගන්වා ඇතුලට ගියා දයාරත්න හිමියන් වේත්‍රධාරීවරයාට භාරදෙන ලෙස ඔවුන් කාර්යාලකාර සහයකයාට උපදෙස් දී තිබුණා. මේ අවස්ථාවේදී නියෝජ්‍ය ඇමතිවරයකු වන මර්වින් සිල්වා මහතා පැමිණ දයාරත්න හිමියන්ට කතාකොට ඔහු කැඳවාගෙන යන අවස්ථාවේදී කාර්යාල කාර්ය සහායකා ඊට විරෝධය පෑවත් ඔහුට බැණ වැදී නියෝජ්‍ය ඇමතිවරයා එහිමියන් ආණ්ඩු පක්ෂයේ ආලින්දය දෙසට රැගෙන ගියා. කාර්යාල කාර්ය සහයකයා මේ බව ජාතික හෙළ උරුමයේ හිමිවරුන්ට දැනුම් දුන්නා . මේ අතරතුර හිමියන් කතානායකවරයා වෙත ගෙන යාමට උත්සාහ කළත් ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණ බිම වාඩි වී ඔවුන්ට යාමට ඉඩ නොදී අවහිර කළා. වේත්‍රධාරී විජය පල්ලියගුරු මහතා මේ හිමියන් බොහෝ අමාරුවෙන් ඉදිරියට ගෙන යාමට උත්සහ කලත් අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල වශයෙන් බාධා කළා ඒ අතරේ එක්තරා මන්ත්‍රීවරයෙක් සෙංකෝලය රැගෙන සභාවෙන් පිටතට ගියා. වේත්‍රධාරීවරයා විසින් හිමියන් හෙළ උරුමය මන්ත්‍රීවරුන්ට භාරදී සෙංකෝලය පසුපස දිව ගියා. එම මන්ත්‍රීවරයා විසින් සෙංකොලය ආපසු භාර නොදුන් නිසා, ඊට හානියක් සිදුවෙතැයි සිතූ වේත්‍රධාරියා සෙංකෝලයආරක්ෂිතව තබාගෙන වාඩි වී සිටීමට සැලැස්සුවා. ඒ අතරතුර කෙසේ හෝ දයාරත්න හිමියන් කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා හමුවේ දිවුරුන් දුන්නා. දිවුරුම් දීමත් සමඟ සෙංකොලය රැගෙන එන ලෙස උපදෙස් දුන් කථානායකවරයා විනාඩි පහකට සභාව කල් දැම්මා.

සෙංකෝලය 1949 දී බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි. කළුවර ලීයෙන් නිමවා, රිදියෙන් , කැරට් 18 රනින් සහ නිල් මැණික්වලින් සරසා ඇති සෙංකෝලය අලංකාර නිර්මාණයකි. දිගින් අඟල් 48 ක් වන අතර බරින් රාත්තල් 48 කි. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීයා ආරම්භයේදී සහ අවසානයේ දී සෙංකෝලය රැගෙන යන අතර, එය පාර්ලිමේන්තුවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සහ අවසන් කිරීම සනිටුහන් කරයි.

සුදුසු සැලැස්මක්

සෙංකෝලය නොමැතිව පාර්ලිමේන්තුව රැස්විය නොහැකිය. එසේම සෙංකෝලය නොමැතිව කිසිදු පනතක් සම්මත කර ගත නොහැක. පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවලදී සෙංකෝලය රැගත් වේත්‍රධාරියා පෙරටු කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් පිටවීමත් සිදුවේ.

ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමත් සමඟ පාර්ලිමේන්තුවට සෙංකෝලයක් සහ කථානායක පුටුවක් ලබාදීමට තීරණය කල බ්‍රිතාන්‍යය, සෙංකෝලයකට සුදුසු සැලැස්මක් එවන ලෙස ශ්‍රී ලංකාවට දැනුම් දෙන ලදී. ඒ අනුව එවක පාර්ලිමේන්තු ලේකම්ධුරය දැරූ ආර්.සෙන්ට් එල්.පී.දැරණියගල විසින් උපදේශක මණ්ඩලයක් පත්කල අතර එහි සභාපතිවරයාවූයේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතායි. සෙංකෝලය සැලසුම් කරන ලෙස උපදේශක මණ්ඩලය විසින් එවක කොළඹ කාර්මික විද්‍යාලයේ කලා අංශයේ ප්‍රධානී එස්.පී.චාර්ල්ස් මහතා වෙත බාරදෙන ලදී. එම සැලැස්ම කථානායකවරයාගේ අනුමැතිය ඇතිව 1948 දෙසැම්බර් 23 වැනිදා බ්‍රිතාන්‍යට යැවීමෙන් අනතුරුව, එරට රාජකීය ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමවූ ගැරත් සමාගමේ ඩැනියෙල් ස්පෙන්සර් ශිල්පියා විසින් අලංකාරලෙස නිර්මාණය කෙරිණ.

බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රදානය කල සෙංකෝලය ශ්‍රී ලංකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත බාර දෙන ලද්දේ 1949 ජනවාරි 11 දායි. එවක කථානායකධුරය දැරුවේ ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතායි. පාර්ලිමේන්තු වේත්‍රධාරියා ලෙස කටයුතු කලේ එම්.ස්මායිල් මහතායි. සෙං‌කෝලය බාරදීමේ උත්සවයට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ දූත පිරිසක්ද සහභාගිවූහ. එහි නායකත්වය දැරූ මේජර් ජේම්ස් මිල්නර් මෙම ඓතිහාසික අවස්ථාවේ කළ ප්‍රකාශය මෙයයි.

”මේ සෙංකෝලය මගින් ඔබගේ ඉතිහාසයත්, සම්ප්‍රදායත් මූර්තිමත් කරනවා.මෙය ප්‍රදානය කරන්නේ ලංකික ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරා ඇති ගරුත්වයත්, බලයත් සංකේවත් කරනු පිණිසයි. එසේම ස්වාධීන පාර්ලිමේන්තුවක් තුල නිදහසේ විවාද කිරීමට රැස්ව සිටින බව අර්ථ ගැන්වීමේ සංකේතයක් ලෙසයි”.

විමලසේන හේවගේ

Related Articles