දළදා මාලිගාවේ ‘ෂූටින් කළ’ යුවළ පොලිසිය විසින් කැඳවයි

දළදා මාලිගාවේ ‘ෂූටින් කළ’ යුවළ පොලිසිය විසින් කැඳවයි

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ විවාහ ගිවිසගත් නව යුවළක්, එහි පවතින සම්ප්‍රදායයන්ට විරුද්ධව ඡායාරූප ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම යුවළ, වෘත්තීය ඡායාරූප ශිල්පියෙකුගේ සහය මගින්, දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපය සහ අභ්‍යන්තර ස්ථාන ගණනාවක ඡායාරූප ලබාගෙන, ඒවා සමාජ මාධ්‍යය තුළ ප්‍රචාරය කිරීමෙන් පසුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දළදා මාලිගාවේ සහ එහි පිටත පරිශ්‍රයේ ඡායාරූප ලබා ගැනීමට යම් සීමාවන් පනවා තිබුණත්, මෙම යුවළ මහනුවර ප්‍රසිද්ධ විහාරයක හිමිනමකගේ අනුමැතිය සහ සහයෝගයෙන් මෙම ඡායාරූප ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.

එම මනාල තරුණයාගේ පියා, මෙම හිමිවරුන් සමඟ සමීප සම්බන්ධයක් ඇති පුද්ගලයෙකු බවට පැවසෙන අතර, එම අනුව, දළදා මාලිගා පරිශ්‍රය ඡායාරූප සදහා යොදා ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බව සැලකෙයි.

කෙසේ වෙතත්, දැඩි ආරක්ෂක විධිවිධාන වල යටතේ ඔවුන් මෙම කටයුත්ත සිදු කර ඇති අතර, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විමසීමකදී, තමන් ද නොදැනුවත්ව මෙම ඡායාරූපගත කිරීම සිදු වූ බව සඳහන් කර තිබේ.

මේ අනුව, මෙම යුවළ සහ ඡායාරූප ශිල්පියා අද (සැප්. 9) මහනුවර පොලිසියට කැඳවා ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

 

Related Articles