සොඳුරු ආඥාදායක  සුගතපාල

සොඳුරු ආඥාදායක සුගතපාල

සුගතපාල ද සිල්වා ගැන මගේ මතක සටහන්
මට ගුවන් විදුලියේදී හමුවූ ගරු කටයුතු පුද්ගලයන් අතලොස්ස අතරින් පෙරමුණේම සිටින්නේ මේ සොඳුරු ආඥාදායකයන්ය. දයානන්ද ගුණවර්ධනයන් මෙන්ම සුගතපාල ද සිල්වා ද මට හමුවන්නේ මුදල් අංශයේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරන කාලයේ සිටමය. ඉතා ඉක්මනින් නවකයින් සමග සමීප වන ඔහු ” මෙන්න මේ වවුචර් ටික හදල හවසට ආර්ටිස්ලට ගන්න දාපං..” කියා කඩිමුඩියේ සිංහල අංශය දෙසින් එන විලාශය තවමත් මගේ මනසේ ඇඳී පවතී.

ගෙවීම් කටයුතු සඳහා අදාල රෙගුලාසි වලට අනුගත දැයි පිරික්සීමට මුදල අංශයට දින දෙකකවත් කාලය අවශ්‍යය. එහෙත් මේ ගරු කටයුතු මිනිසා වෙනුවෙන් අපි බෙහෙවින් නම්‍යශීලි වුයෙමු. මම සුගතපාලයන් හඳුනා ගත්තේ දයානන්ද ගුණවර්ධයනටත් පෙරය. ඒ මගේ කෙටිකතා එකක් දෙකක් පුවත් පත් වලින් ඔහුගේ ඇස ගැසී තිබීම නිසාය.
එහෙත් ඔහුගේ රඟ මඬල වැඩ සටහනට ඒ කාලයේ සිටම යොදාගෙන තිබුනේ ඉතා ඉහල ගණයේ පිටපත්ය. මා මිත්‍ර කපිල කුමාර කාලිංග වැනි ප්‍රශස්ත ගණයේ ලේඛකයෝ තම පිටපත් මගින් සුගතපාල ද සිල්වාගේ ගුවන් විදුලි රඟමඬල පොහොසත් කළා පමණක් නොව එහි මට්ටම කවර තත්වයක තිබිය යුතු දැයි සිය නිර්මාණ මගින් පෙන්වා දුන්හ. මේ නිසා ඔහු වෙත නාට්‍ය පිටපතක් දීම සඳහා මම කල් බලමින් සිටියෙමි.
කෘත හස්ත ජනමාධ්‍යවේදියකු වන විජයානන්ද ජයවීරයන් ඒ දිනවල තම මිතුරු තිලක් ජයරත්න බැලීමට අධ්‍යාපන සේවයට නිතර එයි. ඒ දිනවල මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ නිෂ්පාදකවරුන් පුහුණු කිරීම සඳහා ඔහු අභ්‍යාස ආයතනයට නිතරම ආව ගිය හෙයින් විවේක අවස්ථාවලදී අධ්‍යාපන සේව යට පැමිණීම වැඩිවිය. විවිධ විහිළු මධ්‍යයේ වුවද ඔහු කතා බහ කරන දේවල් වල හරයක් තිබුනෙන් ඒ කතා ඇසීම මගේ නිරන්තර පුරුද්දක්ව පැවතුනි. ඒ කාලයේ ඔහු රජරට සේවයේ වැඩ සටහන් පාලක වශයෙන් ද කලක් කටයුතු කර සිටියේය. එහි ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු කියා සිටියේ රජරට ප්‍රදේශයේ තිබෙන ඇතැම් පාරම්පරික වෙදකම් ඉතා විශිෂ්ඨ ඒවා නමුත් අවාසනාව නම් ගුරුමුෂ්ඨිය වැනි සම්ප්‍රදායන් නිසා ඒවා ඊළඟ පරම්පරාවට අතට පත් නොවීමේ අවදානමක් ඇති බවය. මේ අතර අපේ මුත්තා විසින් ඔහුගේ රෝගයකට හීනෙන් බෙහෙත් කියූ කතාවක් ද මම අසා තිබුණි. මේ කරුණු දෙක එකතු කරමින් මම ගුරුමුෂ්ඨිය නම් ගුවන් විදුලි නාට්‍ය පිටපතක් ලියා සුගතපාල සිල්වා අතට පත් කළේ කිසියම් පැකිලීමකින් යුතුවය. මා ඇසූ ඔහුගේ බොහෝ රඟ මඬල වලට පාදක වී තිබුනේ අධි තාත්වික ගණයේ කතාය. ඒවා ඇතැම් විට ඔබේ බුද්ධියට අභියෝග කරයි. මගේ නාට්‍යයට පාදක වුයේ, සමාජ යථාර්තයක් වන අතර ඒ කාලයේ මම කළ සමාජවිද්‍යා හැදැරීම් වල උකහා ගත කරුණුද එය මුසු කර තිබුණි. “හ්ම් ලබන සිකුරාදා අරකෙ රෙකෝඩින් දාල තියෙන්නෙ . වරද්දන්නෙ නැතිව වරෙන්. ..” දින දෙකකට පසු ඔහු මා හමුව කිවේ නිවැරදි කිරීම් කිහිපයක් ද පිටපතට එකතු කරමිනි. කතාවේ කතානායකයා වන සාම්ප්‍රදායික වෙද මහතාට බඩේ ගෙඩියක් හැදෙයි. ඔහු එයට ප්‍රතිකාර දන්නා නමුත් රහස් බෙහෙත් වට්ටෝරුව දෙන්නේ බටහිර වෛද්‍යවරයෙක් වන තම පුත්‍රයාට මිසක තමන්ගෙන් වෙදකම ඉගෙන ගන්නට එන ගෝලයාට නොවේ. “මේ බෙහෙත් දෙන්නෙ බඩේ දීම ගෙඩිය පුපුරලා යන්න ..” මම එක දෙබසක ලියා තිබුණි.
“යකෝ කොහොමද එහෙම වෙන්නෙ ?” සුගතපාලද සිල්වා කියයි. “එහෙම පිපිරුවොත් ලෙඩා මැරෙනවා.”
“මේ බෙහෙත් ගත්තම ගෙඩිය බඩේදිම දියවෙලා යාවි” ඔහු පිටපත එලෙස වෙනස් කළේ සමාජ ඉගැන්වීම් හරහා කාලාන්තරයක් තිස්සේ ලද අත්දැකීම් වලිනි.

Sugathapala De Silva - Sinhala Cinema Database

 

මට එදින ඔහුගේ නාට්‍ය පටිගත කිරීමට කලට වෙලාවට ඒමට ඉඩකඩ නොලැබුණේ බාහිර පටිගත කිරීමකට ගොස් තිබූ බැවිනි. මම මැදිරියේ පටිගත කිරීමේ යන්ත්‍ර තිබෙන කුඩා කුටියට තුලට යන විට වීදුරු බිඳෙන ශබ්දයක් ඇසෙමින් තිබුණි. “එක හරි නැහැ..ආයේ ට්‍රයි කරමු.” සුගතපාල ද සිල්වා ගේ හඬයි. ඒ නාට්‍යයේ පිටපත ට අනුව ගෝලයා තම රෝගී වූ වෙද ගුරුවරයාට පිරිනමන බෙහෙත් කෝප්පය බටහිර වෛද්‍යවරයකු වන පුතාගේ විසින් ඉවතට විසි කිරීම නිසා බිම වැටී බිදී යන ස්වරූපයයි.හරි ශබ්දය ගන්නට එදින කැඩුණු වතුර බඳුන් කිහිපයක්ම බිමට අත හැරීමට සිදුවිය. මට ගමන් වෙහෙස ඉවතලා මැදිරි පුරා දුවගොස් කැඩුණු වීදුරු බඳුන් සොයාගෙන එන්නට සිදු විය. නාට්‍යයේ වචන වලට එහා ද්විනිත අර්ථය ගන්නට සුගතපාලද සිල්වා වෙහෙසෙන්නේ නියම සොඳුරු ආඥාදායකයකු ලෙසිනි. කිසිවකුට බුරුලක් නැත. නාට්‍යයේ නිමාව ඔහු කියන විදියට හරියට ලෙවකෑවාක් මෙන් සුමුදුව තිබිය යුතුය. අද මෙන් ජනමාධ්‍ය බහුල නොවූ ඒ කාලයේ මේ නාට්‍යය ට බොහෝ දෙනෙක් සවන් දී තිබුණි.
ලිපිකරුවෙකුව සිට අධ්‍යාපන සේවයේ නිෂ්පාදකයකු වශයෙන් මා පත් වී ආ විට ශුභ පැතූවන් අතර ඔහු ඉදිරියෙන්ම සිටියේය. එහෙත් මා එම අංශයට පැමිණීම ගැන එවකට එහි සිටි අධ්‍යක්ෂිකාගේ එතරම් පැහැදීමක් නොවීය . ඇගේ ප්‍රතිචාර වලින් ඒ බව පැහැදිලිව පෙනිණි. කෙසේ හෝ මම එහි පැලපදියම් වෙද්දී පුස්තකාලයට යන අතර වාරයේදී දයානන්ද ගුණවර්ධනයන් මෙන් සුගතපාලද සිල්වා ද අප අංශයට පැමිණ අපගේ සුවදුක් විමසා යන සිදුවීම් ඇගේ විමසුමට ලක්වී තිබුණි. ඔහුගේ වාමවාදී අදහස් තරමක රදල පසුබිමක් තිබූ ඇයට කිසිකලක දිරවා නැත. දිනක් අප සමග එකම කුටියේ සිටි තිලක් ජයරත්නයන් මෙසේ කිවේය. “බලපන්..අර මිසිස් ගුණරත්න සුගතපාල ද සිල්ව මෙහෙට එනවා වැඩියි කියල කිව්වනේ. එහෙම ඇවිල්ල අර අලුතින් ආපු උපසේනවත් නරක් කරන්න ද හදනවද දන්නේ නැහැ කියල කියනව. ඒ ගෑනිට අයිතියක් තියෙනවද අපිට උපදෙස් දෙන්න..” ඔහු තුල තිබුනේ කෝපයකි.

 

Sugathapala De Silva

සුගතපාල ද සිල්වා ගෙන් ආධුනිකයකුට උගතයුතු දෑ බොහෝ විය. උපාධි සහතික නැති වුවත් ඔහු කියූ පොත පත ඒවායින් ගොඩනගා ගත් බුද්ධි සම්භාරය අප විශ්ව විද්‍යාල වල අවුරුදු ගනන් ලැග කළ හැදැරීම් සැනෙකින් මුළු ගන්වයි. ඇතැම් අවස්ථාවල මේ කුටියටම එන මහාචාර්ය සුචරිත ගම්ලත් හා සුනිල් විජේසිරිවර්ධන වැන්නන් එක්වන විට සුවදුක් විමසීමකින් පටන් ගැනෙන සංවාදය සංස්කෘත සාහිත්‍යයෙන් පටන් ගෙන නිම වන්නේ බටහිර සාහිත්‍යයෙනි .
තමන් කියූ පොතක හරය මැනවින් කැටිකොට මනසේ තබා ගැනීමේ හැකියාව අතින් ඔහු පෙරමුනේ සිටියේය. තිලක් ජයරත්න වරක් පැවසූ පරිදි සුගතපාල ද සිල්වා තිබුනේ ඉතා වේගයෙන් කියවීමේ හැකියාවකි. එය ඔහුට ආභරණයක් ම විය. ඔහුගේ රඟමඬල වැඩ සටහන ඉතා ගුනාත්මක වශයෙන් උසස් වීමට මේ පුළුල් කියැවීම බෙහෙවින් බලපෑවේය. ඔහු රචකයින් හැදුවේය. මා සමග කළ සම්මුඛ සාකච්චාවකදී කි පරිදි ඔහු මුලින්ම නාට්‍යයක් තමාම ලියා නිෂ්පාදනය කරයි. මෙය අසන ඇතැම් රචකයෝ නාට්‍ය පිටපත් ඔහු වෙත එවති. ඔහු මේවා පරිස්සමින් කියවා සකස් විය යුතු තැන් පිලිබඳ උපදෙස් සහිතව ඒවා ආපසු ඔවුන් වෙත යවයි. එකල ඔහුගේ නාට්‍යයක් ඇසූ විට මාස ගණනක් හිතා හිතා දිරවන්නට මොලයට ආහාරයක් ලැබේ.
සංකල්ප රූප මවා ගැනීමේ දී ගුවන් විදුලි මාධ්‍යට රුපවාහිනී මාධ්‍ය අභිභවා ය හැකි ශාක්‍යතාවය ඔහු හොඳින් හඳුනා ගෙන සිටියේය. ඔහු තම නාට්‍ය නිර්මාණ මගින් ඇමතුවේ අසන්නාගේ බුද්ධියටයි. ක්‍රියාත්මක වූ නිල හා නොනිල වාරණ නීති හමුවේ වුවද ඔහු පවතින ක්‍රමයට එරෙහිව අසනන්න් ලේඛකයින් පෙළ ගැස්වුයේය. ඇතැම් නාටක වල තිබුණු ගැඹුරු දේශපාලන කියැවීම අසන්නන්ගේ මෙන්ම ආධුනික ලේඛකයින්ගේ බුද්ධිමය නිම වළලු පුළුල් කළේය. උදාහරණයක් වශයෙන් උයනක
බං කුවක් මත දමා ගිය හදවතක් මැදිකරගෙන ලියු නාටකයකින් අද්‍යතන සමාජයේ හරස් කඩක්ම අප වෙත ගෙන ආවේය. දක්ෂ සංගීතඥයකු මෙන් ඔහු පිටපතට ඔබ්බෙන් යමක් තම නාට්‍යයට එකතු කළේය. ජවනිකා එකතු කරන සංගීත ඛණ්ඩ මගින් නිර්මාණයට අමුතු ගැඹුරක් එකතු කළේය. අසන්නන්ගේ විස්වාසය ගොඩ නැගුවේය. ඔබින ශිල්පින් තෝරාගෙන ඔවුන්ගේ උපරිම දක්ෂතාවය යොදා ගත්තේය. වෙළඳ ගුවන් විදුලිය ශබ්ද මාධ්‍යයේ සීමාව යයි සිතාගෙන සිටිනන් හට එහි අසීමාන්තික බව පෙන්වා ලූයේය.දියගම විකාශනාගාරයේ ලිපිකරුවකුව සිටි මා වැඩ සටහන් අංශයේ නිෂ්පාදකවරයකු වන්නට අදහස කා වැදුනේ ඔහුගේ මේ නාට්‍ය ඇසීමෙනි.
” උඹේ නාට්‍ය තවමත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න පුළුවන්.” ඔහු වරක් කිවේය.
ඔහු එයින් අදහස් කළේ මගේ නාට්‍යවල යෝග්‍ය හෝ හොඳ බව නොවේ. ඒවායින් තවමත් ඔහු සොයන බුද්ධිමය ගවේෂණය හෝ පවතින සාම්ප්‍රදායික චින්තනයට අභියෝග කිරීම සිදු නොවන බවයි.
ඔහුගේ ගුවන් විදුලි ජීවිතය ගෙවී ගියේ ඔහුට හිතකර නොවූ දුර්දාන්ත දේශපාලන වාතාවරණයක් තුලය. එම කාලය තුලදී ඔහු ජූලි වැඩවර්ජනයට එක්විම නිසා වැඩ තහනමට ලක්වී සිටියේය. ඒ කාලයේ ඔහුගේ වියහියදම් පිරිමැසුනේ වෙන කෙකුගේ නමින් ගුවන් විදුලියට ලියූ රහස් පරීක්ෂක කතා මා ලාවකිනි. “අරූට කියපං මේකේ වවුචර් ප්‍රමාද කරන්න එපා කියල.” ඔහු තම චක් ගෝලයා අතර මට පණිවිඩයක් ඒවා තිබුණි. මම මගේ කාර්යය නොපමාව ඉටු කළෙමි.
එහෙත් තම නිර්මාණ මගින් ගුවන් විදුලියේ අල්ප වශයෙන් කළ පවතින ක්‍රමයට එරෙහිව කළ අරගලය වේදිකා නාට්‍යයෙන් ටෙලි නාටක පිටපතින්, නව කතාවෙන් මොනවට එලි දැක්වීය . බෝඩිං කාරයන්ගෙන් පටන් ගත් ඔහුගේ වේදිකා නාට්‍යය මරාසාද් ගෙන් මස්තක ප්‍රාප්ත වූ යේ යයි මට සිතේ. උතුරේ යුද්ධය පදනම් කරගෙන ලියවුනු “යුග විලක්කුව” එකල බෙහෙවින් තහනම් යුද්ධ විරෝධී මාතෘකාවක් පරිස්සමින් හසුරුවා තිබුණි. ඔහුගේ, ” බල්ලෝ බත්කති “,” ඇට මැස්සා ” වැනි නවකතා පාඨක විභවයන් පුළුල් කළේය.
සුගතපාල සිල්වාගේ සාද කතා ලුහුඩින් හෝ සඳහන් නොකරන්නේ නම් එය මේ ලිපියේ අඩුවකි. ඇතැම් ඒවා විහිලුම නොව අවුරුදු ගණන් සිතන්නට හිතෙන කියමන්ය.

උඹටම කියල සරමක් තියෙනවද?

No photo description available.

ජේ.ආර් සමයේදී උතුරට ආයුධ ප්‍රවාහනය කිරීම සඳහා ඇතැම් දිනවල ඇඳිරි නීතිය පැනවිණි. මෙය අපට එක අතකින් සැනසිලි දායක විය. “ෂා ..! මට මගේ සරම හෝද ගන්න පුළුවන්.” එලෙස පසු දිනක ඇඳිරි නිතිය වැටුණු විට මම නිකමට මෙන් කීමි .”
“උඹටම කියල සරමක් තියෙනවද?” ඔහු එකවරම ඇසුවේය. මම මුවින් නොබැන සිනාසුනෙමි. මද විරාමයකි.
” අපි දොළොස් දෙනෙක් එකම බෝඩිමක හිටිය.” ඔහු කිවේය. “එකම සරමයි තිබුනේ කට්ටියටම . ඒක පාවිච්චි කළේ ඇඳුම් මාරු කරන්න විතරයි. එක කොච්චර ගඳද කියනවා නං එකෙක් වත් ඒක ඔළුව උඩින් දැම්මේ නැහැ. කලිසම වගේ කකුල් වලිං තමයි, ඇඟට දා ගත්තේ.”
ඊළඟ කථාව කිවේ අප අතරින් වියෝවූ රන්ජිත් පීරිස් ය. සුගතපා ද සිල්වා ඒ කාලයේ ඉඳහිට එංගලන්තයේ දුවන අසුන් පිට නගියි. සමහර විට එසේ කරන්නේ මිතුරකුගෙන් ගන්නා අතමාරුවකිනි.” අද පැරදුණාට හිතට අමාරු නැහැ.” ඔහු මිතුරාට කියා ඇත.” ඒ ඇයි ”
සුගතාපල ද ද සිල්වා මෙසේ කියා ඇත. ” ඇයි පරදින්නෙ උඹේ සල්ලි නේ.”

 

 

වරක් අප පිරිසම බැහැ දැකීමට පැමිණි ඔහු සියල්ලන්ගෙන් මා සුවදුක් විමසා අන්තිමට මා දෙසට හැරුනේය. ඒ කාලයේ මම සමාජවිද්‍යාව පිලිබඳ දර්ශනපති (mphil) උපාධිය සඳහා සුදානම් වෙමින් සිටියෙමි. මම ඔහුවද සම්මුඛ සාකච්චාවකට භාජනය කලේ ඒ සඳහා වන හැදැරීම් වල කොටසක් වශයෙන් ඊට මාස ගණනකට පෙරය. “කියපන් උඹ අන්තිමට ගත්ත උපාධිය මොකක්ද කියල” ඔහු ඇසුවේ මා පමණක් නොව පිරිසම සිනහ ගන්වමිනි. උපාධි සහතික වල තිබෙන නිරර්ථක භාවය අපි අත්දැකීම් වලින් වටහා ගන්නට පෙර ඔහු එය මැනවින් පසක් කරගෙන සිටියේය.
දිනක් එවකට ජන සන්නිවේදන අංශයේ මගේ ද ගුරුවරයකු වූ ආචාර්යවරයකු සමග ගුවන් විදුලි කැන්ටිමේ ප්ලේන්ටියක් බොමින් අප දෙදෙනාගේම ආචාර්ය වරයකු සම්බන්ධ කරුණක් ගැන කතා බහක යෙදෙමින් සිටියෙමු. අප වෙත පැමිණි සුගතපාල ද සිල්වාත් හිඳ ගත්තේය. ” ආ ඒ උඹලගේ සර් ගැනද කියන්නේ?”
“ඔව්..” අපි හිස සැලුවෙමු.
“ඌ මහාචාර්ය කමට ඇර ඕන එකකට සුදුසුයි..” ඔහු වගේ වගක් නැතිව කිවේය. ඒ ප්‍රකාශයට නම් අපට
මොන පැත්තෙන් හිනා ගියාදැයි මතක නැත. මහාචාර්ය තුමාගේ වත් පිළිවෙත් ගැන අපි හොඳින් දැන සිටි බැවිනි, ඒ.
එකල අපේ තැටි ගබඩාවේ ලොක්කා වූයේ පෙරේරා නම් තැන්පත් පුද්ගලයෙකි. හැබැයි, අපිටත් වඩා ක්‍රිකට් පිස්සෙකි. අපේ කණ්ඩායම ක්‍රිකට් ගසන විට ඔහු තම අත් රේඩියෝව කනේ ගසාගෙන තැටි ගබඩාවේ මුල්ලක සැඟවෙයි. අපේ කණ්ඩායම අමාරුවේ වැටී සිටින මොහොතක ඔහුගේ මුහුණ හරියට කරත්තයකට හසුවුණු කජු ලෙල්ලක් මෙන් ඇඹරෙයි. මම ඔහුව වදයට අල්ලා ගන්නේ ඒ මොහොතේය. “මිස්ටර් පෙරේරා අපි අඩු ලකුණු ගාන මෙහෙන් ගහල යවමුද? නැත්නම් බයිසිකල් චේන් කාරයෝ ටිකක් යවමුද අනිත් එවුන් ට වැඩක් දෙන්න?”
“යනව ඕයි යන්න..” ඔහු නොරිස්සුමින් කියමින් තවත් එහාට යයි.

 

No photo description available.
ලංඩන් බී බී සී මැදිරියේදී – සුගතපාලද සිල්වා ,සුනන්ද මහේන්ද්‍ර , සුචරිත ගම්ලත් , ගුණදාස අමරසේකර , විමල් දිසානායක

සුගතපාල ද සිල්වා නාට්‍යය ප්‍රචාරයට පෙර අවසාන වතාවට තැටි ගබඩාවේ ඇති ටේප් ධාවන යන්ත්‍රයෙන් එය නැවත සවන් දෙයි. එවර නාට්‍යය මගේ එකකි. එහි දෙබස් වලට අපේ පෙරේරා මහතාගේ හිත් ඇදී ගොස් ලිව්ව කෙනාගේ තතු විමසා ඇත. විස්තර දැන ගත් පසු ඔහු එකවරම අසා ඇත්තේ, ” අර මෙතෙන්ට ඇවිල්ල පිස්සු කියවන හාදයද?” කියාය.
“බලාගෙන..” සුගතපාලද සිල්වා මට අවවාදයක් ද දුන්නේය. “උඹේ ඔය ගොන් පාට් හැම එකාටම දාන්න එපා. උඹ ලේඛකයෙක්.”
සුගතපාලද සිල්වා මට අවසන් වරට මුණ ගැසුනේ අප හිතවත් රංජිත් අය්යා (රංජිත් දිසානායක) ඔහු වෙනුවෙන් සංවිධානය කළ උපහාර උළෙලකදීය. මඳ කාලයක් ඔත්පලව සිටි ඔහු සුවය ලබා බෙහෙවින් ප්‍රසන්න ලෙස හැඳ පැළඳ සිටියේය. එහෙත් ඔහු අප සමග කළ පිළිසඳර තුල සුපුරුදු සුගතපාල ද සිල්වා නොසිටියේය. “කටහඬේ මදක් වෙව්ලන ස්වරයක් තිබු අතර කියූ කරුණු වල එකිනෙකට සම්බන්ධයක් නැතිබව මට සිතුනි. “ඔහු ඇත්තටම මහළු වීද ?” යන පැණය මගේ මනසින් නැගුණි.

 

 

එහෙත් අවසන් කතාවට වේදිකාවට නැගුනු සුගතපාල ද සිල්වා අපේ කුකුස සැණැකින් දුරු කළේය. ඔහුගේ කට හඬ සුපුරුදු පැහැදිලි තාර්කික තත්වයට ආවේය. මට හැඟුණු හැටියට ඔහු තමන් ලියාගෙන යන කෘතියක් ගැන කියමින් මියයන සඳක් ගැන කී අදහස ජීවිතයක අවසානයක් ගැන සංකේතවත් කළේය. හැබැයි, තවමත් මට හරියට මතක සිටින්නේ ඔහු අවසන් වරට එදා පලකළ අදහසයි.
ඒ කාලයේ සන් ෆ්ලවර්ස් වෙනුවෙන් ගුණදාස කපුගේ තරමක වේග රිද්මයකට ඔහුගේ ගීත නැවත ගයා තිබුණි. මේ අතර නීතිඥ රන් බන්ඩා සෙනෙවිරත්නයන් ලියූ ‘දවසක් පැල නැති හේනේ ‘ ගීතයද තිබුණි. මෙයට උරණ වූ ඔහු කපුගේට විරුද්ධව නඩු මගට බසින බවට තර්ජනය කර තිබුණි. මෙයට එවකට පුවත් පත් වලින්දී තිබුනේ ඉමහත් ප්‍රසිද්ධියකි.

“මට ආරංචියි , රන්බණ්ඩා කපුගේට විරුද්ධව නඩු දානවා කියල. නමුත් කපුගේ සන් ෆ්ලවර්ස්ලගෙන් ගත්තු සල්ලි වියදම් කලේ මගේ අසනීපෙට . ඉතින් මේක දැන ගත්තහම මිනිහ නඩු දායි. හැබැයි නඩුවේදී කපුගේ වෙනුවෙන් කතා කරන්නෙත් රන් බන්ඩාම තමයි…”
නඩු කිසිදිනක නොවැටිණි.

 

ගුවන් විදුලියේ ගෙවුනු කල දවස  උපසේන හේවගේ සටහන

 

Related Articles