සුබ ගමන් සටන් සගය

සුබ ගමන් සටන් සගය

වික්‍රමබාහු කරුණාරත්න ලාංකීය දේශපාලනයේ ප්‍රගතිශීලී කඳවුරේ සටන් සගයා විය

ඔහු ලාංකීය දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත අසන්නට ලැබිණි.

81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී ඔහු ජීවන සටන අත්හැර ඇත්තේ වාම වාදී සිතුම් ඇත්තන් සසල කරමිනි.

බදුල්ලේ සිට කිලෝමීටර් 42ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක් වූ ලුණුගලදී උපත් ලැබූ වික්‍රමබාහු , කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වී ද්විතියික අධ්‍යාපනයෙන් පසුව , ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වී විදුලි ඉංජිනේරු විෂය පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් හිමි කර ගත්තේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය උපාධියක් හිමි කර ගෙන යළිත් පේරාදෙණියට පැමිණි ටික කලකින් ඔහු 1978 දී ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැක්වූ විරෝධතා හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අතර පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරුනි.

දේශපාලන ගමන්මග
1962 වසරේදී ලංකා සම සමාජ පක්ෂයට එක් වූ ඔහු 1972 වසරේදී ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කමිටුවට තේරී පත්
වුවත් එම වසරේදී ඔහු පක්ෂයෙන් නෙරපා දැමුණේ ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමග ඇති වූ මතභේ ද නිසාය

පසුව 1977 වසරේදී වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් සමග එක්ව නව සම සමාජ පක්ෂය ගොඩ නගන්නට ඔහු අපමණක් වෙහෙස විය .

1983 වසරේ පැවති දැවැන්ත වැඩ වර්ජනයේදී ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

“ඔහු ඒ කාලේ විශ්වාස කළා මේ දැවැන්ත වැඩ වර්ජනය හරහා ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල පෙරළියක් සිද්ධ වෙයි කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ.”

1987 පටන් ව එක්සත් සමාජවාදී සන්ධානය නව වාමාංශික පෙරමුණ ආදි සන්ධාන වල කොටස්කරුවෙක් වූ බාහු 2010 වසරේ ජනාධිපතිවරණයේදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් මේසය ඡන්ද සලකුණ යටතේ, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. පාර්ලිමේන්තුවට ඇතුල් වීමට ඔහු කීප වතාවක්ම උත්සහ කළත් ඒ හැම උත්සාහයක් ම අසර්ථක විය. අවසානයේදී ඔහුගේ වියෝව සැලවූ පසු මුළු පාර්ලිමේන්තුවම ඔහුට ශෝකය පල කළේය .

අතිවිශිෂ්ට භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ගේ සමකාලීනයෙක් වූ වික්‍රමබාහු ගේ ශාස්ත්‍රීය හැකියාවෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වුයේ අතාර්කික ලෙසින් ඔහු ව විශ්ව විද්‍යාලයෙන් නෙරපා  හැරුණු හෙයිණි.

“ඔහු ලංකාවේ දේශපාලනයේ ඉතා වැදගත් පුරුකක්. අපට කියන්න පුළුවන් ඔහු ඇත්තට ම ප්‍රධාන සන්නාමයක් තමයි බාහු කියලා කියන්නේ. ඔහුගේ අභාවය දේශපාලන ලෝකයට දැනෙන සංසිද්ධියක්.” ඒ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි.

සහිත්‍යවේදී චන්ද්‍රරතන බණ්ඩාර

සටහනක් තබන සහිත්‍යවේදී චන්ද්‍රරතන බණ්ඩාර මතක් කරන්නේ ගෙවී ගිය ඊයේ දවසයි.

මියගියත් ජීවත්වෙන මිනිහෙක්.
අපට ‘බාහු” වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ ලංකා සමසමාජ පක්ෂයෙන් වුවත්, ඒ සඳහා මා පෙළඹ වූ පළමු ලේඛනය ‘වාම සමසමාජය” නම් වූ ටැබිලොයිඩ් පුවත්පත මිළ දී ගත්තේ එවකට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ බාහු සහෝදරයා අතිනි. තැන මහනුවර බේක්හවුස් හෝටලයේ රන්වැට අද්දරය. ඔහු සමග මේ පැත්තේ සුමනසිරි ලියනගේ, පදික වෙළෙන්දෙකු වූ සෝමපාල සහෝදරයා (කොට සෝමේ) වැනි කිහිප දෙනෙකු එම පත්තරය විකුණම්න් සිටියෝය. පාරෙන් අනෙක් පැත්තේ ඩෙවෝන් හෝටලය පැත්තේ ආචාර්ය නලින් ද සිල්වා ද එම පත්තරයම විකුණමින් සිටියේය. එදා මගේ වයස දහහතරකි.
නොගැලපීම්, නුරුස්නාකම් කවරක් තිබුණත් ඔහු අවංක මිනිසෙකු ලෙසත්, එකම කඳවුරේ මිනිසෙකු ලෙසත් , අසාමාන්‍ය උගතෙකු හා බුද්ධිමතෙකු ලෙසත් ඔහු අද අවසන් ගමන් යන තෙක්ම මගේ බුහුමනට ලක්විය. දෙමළ ඇතුළු සුළු ජාතීන්ගේ අයිතීන් ගැනත් අනෙකුත් සමලිංගිකයින් වැනි සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් ගැනත් සමාජයට දැනෙන ලෙස පළමුවරට හඬ නැඟුවේ බාහු සහෝදරයාය. ඒ වෙනුවෙන් ඔහු පුද්ගලිකවම අවමන් වින්දේය. පහර කෑවේය. අවාසි භුක්ති වින්දේය. ඔහු ජාතින් ගැන හා සුළුතර ප්‍රජාවන් ගැන මතුකළ දෙය සමස්ත වාමාංශික කඳවුරම වාගේ අද වන විට පිළිගෙන ඇත.
බුද්ධිමතුන් අතර රජෙකු ලෙස මෙරටත් රටින් පිටතත් ජීවත්ව සිටිය හැකිව තිබූ ඔහු බැරැක්ක වීදියේ තෝසෙ කමින් ප්ලේනටි බොමින් රැය පහන් කළේය. අරගලය කොතනද ආරාධිතව හෝ අනාරාධිතවම එයට සහභාගි විය. සෙනඟ දසදහසටද, විසිපහටද සමාන උද්‍යෝගයකින් ඔවුන් ඇමතීය. දශක හයකට වැඩි කාලයක් ඔහු දැරෑ වෙහෙසේ ප්‍රතිඵල වාම සංස්කෘතියට මුසු වී ඇත.
වාම දේශපාලනය තුල සිටි කඩවසම්ම මිනිසා ඔහුය.
පුරෝගාමී සහෝදරය ඔබට සුබගමන්

 

 

Related Articles