ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටිති. දැනට එල්ල මැරීම ක්‍රියාත්මක නොවන හෙයින් මේ පිරිස් දිගටම ‘කන්ඩෙම්’ වූ රැඳවියන් ලෙස රඳවා තබා ගැනීම හරිද යන ප්රශ්නය මතුවේය.
සිරකරුවන්ගේ දඬුවම් සමාලෝචන ක්‍රියාවලියට බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමාව දීමේ බලය තුළය නමුත් මේ සමව දීම ජනාධිපතිවරුන් ගේ හිතවත්කම් මත පදනම්ව සිදුවෙන බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා පවසන්නේ .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපතිවරයෙකුට වරදකරුවෙකුට සමාව දීමේ බලය තියෙනවා”
“පහුගිය කාලේ අපි දකිනව මේ ජනාධිපතිවරු ගත්තමා දිගින් දිගටම තමන්ගේ ගජ මිතුරුන්ට තමන්ට ලැබිච්ච මේ බලය ප්‍රකාරව උදව්කරපු එක තමයි අපි දකින්නේ.” යැයි නීතිඥ සේනක පෙරේරා සදේශයට පැවසීය .
නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ “සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපිට හුඟක් ලියුම් දෙනවා සිරගතවෙලා ඉන්න අයගේ පවුල්වල අය. ඒවා එහෙම තියෙද්දී දුමින්ද සිල්වා අවුරුදු 5කටත් වඩා අඩු කාලයකින් නිදහස් වෙන තත්ත්වයක් තමා අපි දැක්කේ. තමන්ගේ දේශපාලන ගජමිතුරුවාදය, නැත්නම් තමන්ගේ වෙනත් මොනවා හරි සම්බන්ධතා සහ පක්ෂපාතීත්වය මත සහන දෙන්න තමා ජනාධිපතිවරු පසුගිය කාලේ පුරා වැඩ කළේ. දිගින් දිගටම මේ රටේ ජනාධිපතිවරු තමන්ට ව්‍යවස්ථානූකූලව ලැබිච්ච බලය අවභාවිතයට ලක්කරමින් තමන්ගේ මිතුරුන්ට සහන දෙන්න තමා ඒක පාවච්චි කළේ. එහෙම වෙන කොට විශාල සංඛ්‍යාවක් ඉන්නවා බරපතල විදිහට මේ ප්රශ්නය නිසා පීඩා විදින මිනිස්සු. තමන්ගේ ජීවිත කාලයම ඇතුළට වෙලා ඉන්න අය ඉන්නවා.”
“ලෝකය ගත්තාම මිනිස්සුන්ට නිවැරදි වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. බන්ධනාගාර ලාංඡනයේ C අකුරු 3ක් තියෙනවා. කරෙක්ෂන්, කෙයාර්, කස්ටර්ඩි. කරෙක්ෂන් කියන්නේ මොකද්ද? . ” නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය.
“දැන් බන්ධනාගාර වලින් එළියට යන පුද්ගලයින් ගෙන් 50%ක් ආපහු එනවා. හරි පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් නැහැ.” ඔහු කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ “මරණ දඬුවම දුන්නම වෙන රටවල ඒ දඬුවම ක්‍රියාත්මක කරනවා. නමුත් ලංකාවේ එහෙම දෙයක් නැහැ. දවසින් දවස ඒ මනුස්සයට ජීවත් වෙන්න බලාපොරොත්තුව ඇති කර ගත්තට පස්සේ ඒ මනුස්සයට මරණ දඬුවම දෙනවා කියන්නේ ඒ මනුස්සයගේ මානව හිමිකම් කඩ කිරීමක්.” බවය.
අත්සන් 20,000ක පෙත්සමක්
තමන්ගේ දඬුවම් සඳහා ඉහළ අධිකරණවලට අභියාචන ඉදිරිපත් කර ඇති සිරකරුවන්ගේ අභියාචනය අසාර්ථක වූ විට දඩුවම් කාලය ගණන් බැලීමේදී අභියාචනය අසාර්ථක වූ දින සිට නොව සිරදඬුවම් නියම කළ දින සිට එකී දඬුවම් කාලය ගණන් බැලීම.
අභියාචනයක් අසාර්ථක වූ අවස්ථාවක අදාළ ඉහළ අධිකරණයෙන් දඬුවම නියම කළ දින සිට දඬුවම් කාලය ගණනය කරන ලෙස දැනුම් දුන් අවස්ථාවන්හි දී පවා එකී නියෝග අනුව කටයුතු නොකළ අවස්ථා සම්බන්ධයෙන් සොයාබල අවශ්‍ය පියවර ගැනීම.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයා ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන මෙම යෝජනා ක්‍රියාවට නංවන ලෙසය.
ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන අද (දෙසැම්බර් 10 වැනිදා) සිරකරු අයිතිවාසිකම් සැමරීම වෙනුවෙන් යොදා ගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කටයුතු යොදා තිබේ.
අධිකරණ ඇමති පවසන්නේ කුමක්ද ?
බීබීසී සිංහල විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ වෙත මෙම ගැටළුව යොමු කරනු ලැබීය.
අමාත්‍යවරයා කියා සිටියේ සිරකරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා පැවති මණ්ඩලයේ කටයුතු මන්දගාමී බැවින් එය විසුරුවා හැර නව මණ්ඩලයක් පත් කළ බවය.
“ප්‍රශ්නයක් ඕකේ තියෙනවා. ලයිසන් බෝඩ් කියලා එකක් හඳුන්වා දීලා තිබ්බා. සංවිධානාත්මක අපරාධකරුවන්ට නෙමෙයි. අනෙක් මරණීය දණ්ඩනය නියම වෙච්ච අයට හොද චර්යාවෙන් අවුරුදු 5ක් ගත කළොත්. ඒ අවුරදු පහෙන් පස්සේ එයාට පුළුවන් ලයිසන් බෝඩ් එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. එක් විශ්‍රාම ගිය අභියාචානාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තමා මම ඒක පත්කරලා තිබුණේ. ඒ අවුරුදු 5 චර්යාව හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා නම්, එයාගේ චේතනාවත් බලනවා. පළිගැනීමේ චේතනාවක් ඒවගේ දේවල් මේ වෙනකොට හිතින් අතහැරලා නම් ඒ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරනවා. ඊට පස්සේ අවුරුදු 10ක් යටකොට. ඒ කියන්නේ අර පහට අමතරව තව අවුරුදු 5ක්. ඒ කියන්නේ අවුරුදු 10 වෙනකොට එයාට පුලුවන් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා නම් ආයිත් ඇප්ලයි කරන්න. මුළු අවුරුදු 10ක් ගත කළාට පස්සේ ආපුහු අර බෝඩ් එකට ගිහිල්ලා ඔප්පු කලොත් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා කියලා අපි සිර දඬුවම අවුරුදු 20ක් බවට පත් කරනවා. අවුරුදු 20 කළාට පස්සේ එයාට සාමානයෙන් අවුරුදු 20 සිරකරුවෙක්ට හොඳ චර්යාවෙන් ඉදලා නිදහස් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා නේ. එතකොට එයාට අවුරුදු දහතුනහමාරක් දාහතරක් වගේ කාලයක දී නිදහස් වෙන්න පුළුවන්.”
මන්දගාමී මණ්ඩලය වෙනුවට නව මණ්ඩලයක්
“ඒ බෝඩ් එක ක්‍රියාත්මක වුනේ හරිම ස්ලෝ. මාසයකට දවසයි, දෙකයි රැස්වුණේ. ඊට පස්සේ බෝඩ් එක විසුරුවා හැරලා දැන් අලුතින් ෆුල්ටයිම් වැඩ කරන්න කියලා බෝඩ් එකක් මම පත් කළා. විශ්‍රාම ගිය මහාධිකරණ විනිශ්චකාරවරුන් දෙදෙනෙකුත් එක්ක. දැන් ඒක ක්‍රියාත්මකයි.” විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.
හැබැයි සංවිධානාත්මක අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට මෙය අදාළ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රිමාන්ඩ් භාරයේ සිටි කාලය දඬුවමෙන් හිලව් කිරීමට නව පනතක්
එසේම අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සංඛ්‍යාව ඉහළ යෑම බන්ධනාගාර තදබදය වැඩිවීමට හේතු වී ඇති බවය.
“හුඟාක් රැඳවියන්… සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා රිමාන්ඩ් භාරයේ අවුරුදු පහක් විතර. සමහර වෙලාවට දඬුවම හම්බවෙන්නෙත් අවුරුදු පහයි. සමහර වෙලාවට ඇපීල් එක තියෙද්දිත් අවුරුදු 4,5ක් ඉදලා තියෙනවා. අවුරුදු 5 දඬුවම ක්‍රියාත්මක වෙන්නේ අවසාන තීන්දුවෙන් පස්සේ. එතකොට අවුරුදු පහක් ඔහු බන්ධනාගාරයේ කාලය ගත කරළත් ඉවරයි. රිමාන්ඩ් එකේ සහ පෙන්ඩින් ඇපීල් හිටපු කාලසීමාව දඬුවමට හිලව් කරන්න පනතක් පාර්ලිමේන්තුවට ගේන්න දැන් මම කැබිනට් එකට දාලා තියෙනවා.” අමාත්‍යවරයා අනාවරණය කළේය.
“අවුරුදු 16යේ ඉන්න අයත් තියෙනවා. අවුරුදු 10ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරන කොට එයා අවුරුදු 16ක් බන්ධනාගාරයේ ඉදලත් ඉවරයි. එතකොට එයා තව අවුරුදු 10ක් ඉන්නකොට අවුරුදු 26ක් වෙනවා ඔටෝමැටිකලි. ඩබල් ටැක්ස්සේෂන් වගේනේ. ඒක නැති කරන්න පනත හදලා ඉවරයි.” ඔහු පැවසීය.