රඹුක්කන සලා ගුරුන්නාන්සේ චූල සම්ප්‍රදායට අයත් පොත පත රාශියක් ලියූ ගැමි කවියෙකි. සලා ගුරුන්නාන්සේ ගේ කවි ගැන හොයන්න මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් ,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ නාරද දිසාසේකර ගිය ගමනක වගතුග ගැන කියන්නේ.
ප්‍රවීන ගීත රචක සුනිල් සරක් පෙරේරාය :
සූවිසි විවරණය, උත්තර සාමණේර කථා වස්තුව, කිණිහිරි නම් දිව්‍ය විමාන විස්තරය, අභිනව හෝඩිය පටුන සහ මහාමේරු පර්වත අලංකාරය ආදී ඔහු විසින් ලියා ඇති කවි පොත් කෑගල්ලේ විද්‍යා කල්ප යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට බෙදා හැර ඇත.
ඒ වන විට මා කියවා තිබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘සිංහල නාටකය හා සඳ කිඳුරුව’ යන පොතේ සිංහල ගැමි නාට්‍ය ගැනත් මතයක් ඉදිරිපත් කර තිබුණි. වික්‍රමසිංහ මහතා එහි දී මතුකිරීමට උත්සාහ ගෙන තිබුණේ සරච්චන්ද්‍ර මහතා මනමේ රචනා කර ඇත්තේ රඹුක්නක සලා ගුරුන්නාන්සේ නමින් ප්‍රකට කවියාගේ පිටපතක් ඇසුරින් බව ය. සලා ගුරුන්නාන්සේ ඒ වන විට සඳ කිඳුරු කවි නාඩගමක් ලියා රඹුක්කන-මාවනැල්ල හා කෑගල්ල ආදී තදාසන්න ප්‍රදේශවල රඟ දක්වා තිබූ බැවින් වික්‍රමසිංහ මහතා තර්ක කරන්නේ සිංහල ගැමි නාටකය යන පොතෙහි දක්වා ඇති දිප්පිටියේ දී සරත්චන්ද්‍ර දැක ඇත්තේ සලා ගුරුන්නාන්සේගේ කවි නාඩගම බවයි.
එවකට ගුවන් විදුලියේ සේවය කළ නාරද දිසාසේකර මහතා රඹුක්න සලා ගුරුන්නාන්සේ පිළිබඳ තොරතුරු සරච්චන්ද්‍ර මහතාට පැවසූ විට ඔහු හමුවීමේ උනන්දුවක් සරච්චන්ද්‍ර මහතාට ද ඇති විය. මේ සඳහා මවිසින් මඟ පෙන් වූ අතර සලා ගුරුන්නාන්සේ සොයා රඹුක්න යන ගමනට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාත් නාරද දිසාසේකර මහතාත් මාත් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා සමඟ එක් වූහ.
කොළඹ සිට රඹුක්න දක්වා ම ගමන රසබර කතාවලින් පිරුණු එකක් විය. කතා බහේ දී සියුම් උපහාසයක් දැනවීමට සමත් සරච්චන්ද්‍ර මහතා සුනන්ද මැල් මහතා දෙස හැරී ප්‍රශ්නාර්ථයක් නැඟුවේ ඔබ සුනන්ද ද, මහේන්ද්‍ර ද, මැල් ද යන්නයි. සුනන්ද මහේන්ද්‍රයන් තම නම සුනන්ද මහේන්ද්‍ර බවට කෙටි කර ගත්තේ මින් පසුව විය හැකි ය.
ගමන අතර වාරයේ සිහින් සිනාවක් මුවග මතු කරමින් සරච්චන්ද්‍ර මහතා කීවේ සලා ගුරුන්නාන්සේ බැලීමට සරා ගුරුන්නාන්සේ යන බවකි.
සලා ගුරුන්නාන්සේ ජීවත්ව සිටියේ රඹුක්න අළුක්ගල පන්සල අසලින් වැටී තිබූ නල්ගල්ල මාවතේ මද දුරක් ගිය විට හමුවන ‘කොත්තනවත්ත’ කඳුකර ගම්මානයේ ය. කුඩා කඳු මුදුනක පිහිටි ඔහුගේ නිවෙසට වැටී තිබූ කුඩා අඩි පාර දිගේ මද දුරක් ගමන් කළ අපට අතර මඟ දී සලා ගුරුන්නාන්සේ හමු විය. ඔහු පුවක් කොළේකින් බැඳි ගොට්ටකට වතුර ගෙන යනු දක්නට ලැබුණි. කොණ්ඩය බැඳි සිහින් සිරුරකින් හෙබි මේ වයෝවෘද්ධ පුද්ගලයා ප්‍රසන්න රූපකායකින් යුක්ත වූවෙකි.
කන්ද නැඟ ඔහුගේ ගෙමිදුලට පැමිණි අප හට හිඳ ගැනීම සඳහා ආසන පැනවුණේ ගෙමිදුලේ අඹ ගහ යට වූ තුරු සෙවෙණ් ය. මා සමඟ පැමිණි පිරිස කවුරුන් ද යන්න ඔහු හඳුනා ගත්තේ නැත.
ආගිය කතාවලින් පසු සරච්චන්ද්‍ර මහතා ප්‍රශ්න කළේ
‘ගුරුන්නාන්සේ ඔය කොළඹ පැත්තෙ මනමේ රඟ දක්වන මහත්වරු එහෙම ගුරුන්නාන්සෙට හමුවෙලා තියෙනව ද?’
‘ඒ මහත්වරු නම් මුණගැහිලා නැහැ මහත්තයෝ. ඒත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා නම් පොතක් එක්ක ලිපියක් එවා තිබුණා.’
මෙසේ පැවසූ ගුරුන්නාන්සේ හුණු පිරියම් කළ කුඩා ගෙතුලට ඇතුළු වූයේ එම පොත අප වෙත රැගෙන එනු පිණිසයි. එය කිසිවකුගේවත් ඉල්ලීමට සිදු වූවක් නොවේ.
ගෙයි ඉදිරිපස උළුවස්සට වාරුවී සිටි පාසල් වියේ යෞවනියක් ආපසු අප වෙත එන ගුරුන්නාන්සේගේ කණට රහසිගතව යමක් කොදුරනු දුටුවෙමි.
ගුරුන්නාන්සේ ආපසු පැමිණ, අනේ මේ අපේ සරත්චන්ද්‍ර මහත්තයා නේදැයි පැවසුවේ මහත් බැතියෙනි. සලා ගුරුන්නාන්සේ අත තිබූ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අලුත් පොත (සිංහල නාටකය හා සඳකිඳුරුව) හා තමා වෙත මනමේ අත්පිටපත එවන ලෙසට මාර්ටින් වික්‍රමසිංහ මහතා එවා තිබූ ලිපිය ඔහු සරච්චන්ද්‍ර මහතා අතට පත් කළේ ය.
සලා ගුරුන්නාන්සේ අප වෙනුවෙන් ම කවි ගායනාවක යෙදුණු අතර මේ කවි ගායනයේ විශේෂත්වය වූයේ තොල් දෙක එකිනෙක නොගෑවෙන ස්වරයකින් එය ගායනා කිරීම ය. නාරද දිසාසේකර මෙය පටිගත කිරීමට සූදානම් වුව ද ඊට ගුරුන්නාන්සේගෙන් ඉඩක් නොලැබුණි.
සලා ගුරුන්නාන්සේ හමුවෙන් පසු අප ගියේ දිවා ආහාරය පිළියෙළ කර තිබූ මා බිරිඳ සරෝජිනිගේ මහ ගෙදරට ය. එය රඹුක්කන් ඔය ගලා බසින ඇඹුල්අබේ ගම් පියසේ පිහිටා ඇත.
දිවා ආහාරය ගැනීමට පෙර දක්නට ලැබුණේ කන්දෙන් බැස ආ මුදියන්සේ ගේ දසුනයි. ඔහු ගහෙන් බා ගත් රා මුට්ටියක් ද රැගෙන හොරෙක් වාගේ ගෙයි පිළිකන්නෙන් පියවර මනිනු පෙනිණ. අහර කිසට පෙර සරච්චන්ද්‍ර මහතා ගේ හඬින් ගැයෙන ග්රැමෆෝන් ගීත මෙන් ම නාඩගම් ගීතවලට සවන්දීමේ භාග්‍ය එදින අපට ලැබුණි. නාරද දිසාසේකර සහෘදයා අත්වැල් ගායනයට එක් වී ය. සරත්චන්ද්‍ර මහතා ගේ වචනවලින් ම එම අවස්ථාව මෙසේ දක්වනු කැමැත්තෙමි. මෙය සරත්චන්ද්‍රයන් ගේ ජීවන තොරතුරු ඇතුළත් ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ පොතේ සඳහන්ව ඇති වැකියකි.
‘එදා දවස අප විනෝදයෙන් ගත කළ බව ද සඳහන් කරනු කැමැත්තෙමි’
මේ ගමනේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විඳි අත්දැකීමක් මතක් කරමින් :
සරච්චන්ද්‍රයන් සමග රඹුක්කන ‘සලා’ ගුරුන්නාන්සේ හමුවෙන්න ගිය වෙලාවක එතුමා කී ගුරුහරුකමක් මතකයි. මමයි, ඩොක්ටරුයි, සුනිල් සරත් පෙරේරායි, කරුණාරත්න අමරසිංහයි, නාරද දිසාසේකරයි කට්ටිය ඔක්කොම දැන් යනවා ‘සලා’ ගුරුන්නාන්සේ හමුවෙන්න. මඩ ටිකක් තිබුණු පස බුරුල් තැනක දැන් කාරයේ රෝදයක් එරිලා. ගොඩ එන්නෙ නෑ. කට්ටිය බැහැලා වීර්යය දාලා කාරය තල්ලු කරනවා ගොඩ ගන්නා. මහාචාර්ය සරච්චන්ද්‍රට තල්ලු කරන්න දුන්නෙ නෑ. මිනිස්සු කොච්චර තල්ලු කළත් කාරයේ රෝදය ගොඩ ආවේ නෑ. මං කල්පනා කරලා අමු පොල් අතු කෑල්ලක් රෝදයේ වළට කිට්ටු කළා. ඒකෙ දැවටිලා කාරය ගොඩ ආවා. මේක දැකපු සරච්චන්ද්‍රයන්ට පුදුම සතුටක්. එතුමා කීවා මෙහෙම.
One Ounce of Knowlege is Thousand Kilograms of Power තේරුම දැනුමේ එක අවුන්සයක් බලවත් වෙනවා කිලෝ ග්‍රෑම් දහසක බලයට වඩා කියන එක.
මහචාර්ය සිරිගුනසිංහ පවසන ආකාරයට සුනිල් සරත් පෙරේරා ලියු ගේ අතුරින් හොඳම ගීය්තය වන්නේ එරන්දතිය පිරිවරනා ගීතයයි .මේ ගීතය සලා ගුරුන්නාන්සේ ගේ විදුර ජාතක කවි පොතෙන් අභාෂයෙන් ලියවුනු ගීතයකි .
ඒ ගැන මහාචාර්ය ජේ බී දිසානායක :
අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා ..
එරන්දතිය එනවා …
. මිනිස් සිත තුළ රූ සපුවෙන් අගතැන්, කල්පනික ලෝකයේ ලියක් පිළිබඳවයි මේ ගීතයෙන් විවරණය වෙන්නේ. ආදරය, ප්‍රේමය, රාගය ඒවගේම ශුංගාරය ජනනය කරන ගීතයක් ලෙසත්, මේ ගීතය හඳුන්වන්න පුළුවන්.
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරු වෙනවා ..
එරන්දතිය එනවා …
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා …
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැලුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා …
කවුද? මේ එරන්දතී කියන්නේ, මෙතරම් වර්ණනාවකට පාත්‍ර වන මේ අංඟනාව කොහේ සිට පැමිණෙන්නේ ද ?
මේ රූමත් එරන්දතිය අපට හමුවෙන්නේ විධුර ජාතකයෙන්. එරන්දතිය වූ කලී විධුර පණ්ඩිතයන් නා ලොවට රැඟෙන ඒමේ කටයුත්ත බාර ගත් තැනැත්තියයි. නා රජ දියණිය තමයි ” එරන්දතිය ” කියන්නෙ. ඇය නා ලොව සිට විධුර පණ්ඩිතයන් රැඟෙන යාමට මනු ලොවට පැමිණෙන ගමන් විලාසය තමයි ප්‍රවීන ගේය පද රචක සුනිල් සරත් පෙරේරා විසින් මේ ගීතයෙන් විවරණය කරන්නේ. ප්‍රවීන සංගීතඥ වික්ටර් දළුගමගේ සංගීතයට මේ ගීතය ගායනා කළේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමදේව සූරීන් සහ ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහයි.
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැලුම් හෙළාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා …