කව්රුත් දන්න ඩබ්ලිව් ජයසිරි සොඳුරු අතීතයක් අව්ස්සයි .
ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්ථිර සේවයේ යෙදෙන යුගයේ මා ඉතා කිට්ටුවෙන් ඇසුරු කල මිතුරෙක් වීයේ එහිම කාර්මික නිලධාරියෙක් ලෙස සේවය කල රංජිත් එදිරිසිංහ ය. ගුවන්විදුලි යේ පටිගත කරන විශේෂ සරල ගීත මෙන්ම සුගතපාල ද සිල්වා ගේ සමහර රේඩියෝ රඟමඬල පටිගත කිරීමේ නිලධාරියා වුනේ රංජිත්.ඔහුට වඩාත් රසවත් වූ ගීතයක් පටිගත වූ දාට මා සමග එක්ව එය රසවිඳීම ඔහු ගේ පුරුද්දක්.දිනක් රංජිත් ඔහු එදින පටිගත කල ගීතයක් රසවිඳීමට මට කතා කලා.අපි එයට සවන් දෙන්නෙ ප්‍රධාන කාර්මික අංශයේ මැදිරියක.
මෙන්න මේක තමයි ගීතය.
“සඟවා ගනුමැන ඔබැ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී සැලී සැලී යයි
මහවණ පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙමි
හිරුරැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හදසොමිසඳවත ලෙස රුසිරි නො විනි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන් වූ රුවහමාර නැත නෙත් දෙකකට හිමිවිය යුතු නැත”
ගීතය අහල ඉවර උනු ගමන්ම රංජිත් සුපුරුදු ප්‍රශ්ණය ඇහුව.
“ජයෙ මොකද හිතන්නෙ?” මම උත්තර බැන්ද.
“මචං, වික්ටර් රස මෙලඩි එකක් හදල හිත පිරෙන්න ගායනා කරල තියෙනවා
.ඒත් මට පදමාලාව ගැන පොඩී ප්‍රශ්ණයක් තියෙනවා”.
කථාව එතැනින් හමාර නැත
වෙනත් දවසක නං රංජියි මායි සිංදුව ගැන කතාබහ කරන්නෙ 60 වත්තෙ නිසාර් ගෙ ගෙදර හොරපොට් එකේ.
එදා මං රංජිත් ට කිවුව අපි අද රංදෝලියට යං බොන්න.බන්ඩාර මුණ ගැහෙන්නත් පුලුවන්.මොකද?
ගීත පදමාලාව බන්ඩාර කේ විජේතුංග.
ඉතිං හිතුව වගේම බන්ඩාර රංදෝලියට ඇවිත් හිටියෙ.
අපි දෙදෙනා බන්ඩාර ගෙ මේසෙ දෙ පැත්තේ වාඩිවුනා බාගෙකුත් ඕඩර් කරගෙන.මම කතාව පටං ගත්ත.
“මචං,බන්ඩාරෙ,උඹ වික්ටර් ට ලියපු අලුත්ම සිංදුව මං අද ඇහුව”
“මටවත් අහන්න බැරිවුනා.මොකක්ද සිංදුව” බන්ඩාර ඇහුව.
“අර උඹ ලියපු ගෑණු විරෝධී සිංදුව සඟවා ගනු මැන ඔබැ රුව…..”
බන්ඩාර අරක්කු වඩියක් තොල් මැද්දට තියා ගත්තා.
“ඉතිං කියපං” “මචං,උඹ කියනව, කෙල්ලෙ,උඹ මූණ හංගගෙන ඉඳිං.
තව කවුරු හරි උඹේ මුණ දකියි කියල මට බයයි.මගෙ හදවත බයෙන් වෙව්ලනව. මම කවදහරි දවසක උඹ ඈත ඝන කැලෑවක ගුහාවක හංගල තියනව.හිරු රැස් උනත් උඹ දැක්කොත් මම ඉරිසියාවෙන් පැලෙයි.උඹ හඳක් වගේ ලස්සණ නැතුව අජූව කැත ගෑණියෙක් උනා නං දාහක්දෙනා උඹ දැක්කත් මට කමක් නෑ.හැබැයි,උඹ ඊයෙ මට පෙන්නපු හැඩ තව ඇස් දෙකකට පෙන්නන්න උඹට කිසිම අයිතියක් නැහැ
.මේ සිංදුව මම අහපු කුහකම සිංහල සිංදුව.කෙල්ල කැත උනා නං කවුරු එක්ක ගියත් කමක් නෑ.
කෙල්ල රූමත් නිසා මට විතරයි අයිති වෙන්න ඕන. පිරිමියගෙ කුහකකම”
බන්ඩාර ඔහු ගේ ගැඹුරු හඬින් ටිකක් සද්දෙට හිණාවුනා.බන්ඩාර එහෙම තමයි.උත්තර දෙන්නෙ නෑ.
කථාව එතැනින් හමාර නැත .කථාවේ ඉතිරි හරිය දෙපැත්තකට එක පැ ත්තක සොඳුරිය සිටී අනෙක් පැත්තේ බණ්ඩාර සිටී .සොඳුරිය ගැන කතා බැරිය මන්ද ඇය ජීවිතයේ ගිරිමුදුන තවමත් තරණය කරන්නීය .බණ්ඩාර නික්ම ගොසිනි .
බණ්ඩාර කේ විජේතුංගයන්ගේ නිර්මාණ තවමත් අපේ ජීවිතයට පවන් සලයි .ඒ නිසා ඒ ගැන හෙට අනිද්දාට කතා කරමු.