වෙඩි තැබූ පොලිස් පරීක්ෂක නිදැල්ලේ

වෙඩි තැබූ පොලිස් පරීක්ෂක නිදැල්ලේ

අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා පසුගිය 09 දා ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබේ.

මීට වසරකට පමණ පෙර ( 2022.10.12) සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී හෙළිදරව් විය.

සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දික ප්‍රභාත් තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම නිසා ආත්මාරක්‍ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවත් ඊට පරස්පර සාක්ෂි උසාවියට ඉදිරිපත්විය.

ඉන්දික ප්‍රභාත් ගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාර වලින් සිදුවූ තුවාල පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පැවසුවේ මෙය ආත්ම ආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් බවයි .

ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් වරයා දුන් නියෝගය මේදක්වා ක්‍රියාත්මක කොට නැත.

වෛද්‍යවරිය සාක්කිය අනුව පැහැදිලි වන්නේ ගිනි අවියෙන් තබන ලද උණ්ඩය මරණකරුගේ නාසයට ඉහලින් ආරම්භ වී හනුක අස්ථීය , ගෙලෙහි මාංශ පේශී සහ රුධිර නාල දකුණු පෙනහැල්ල සහ අක්මාව පාසාරු කරගෙන ගොස් උදර කුහරයේ තුළ තිබී උණ්ඩයක් සොයාගෙන ඇත.

මරණකරුගේ හිස් කබලේ හෝ ශරීරයේ පිටුපස දෙස තුවාල නොමැති බවට පැහැදිලිව පෙනීයයි.

පැහැදිලිව පෙනී යන්නේ මරණකරු දණ ගසා සිටියදී ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට ශරීර අභ්‍යන්තරයට ගමන් කරන ආකාරයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මරණකරුට වෙඩි තබා ඇති බවයි.

Related Articles