විජය කුමාරතුංග බොහෝ විට සිනමාවේ ජයග්‍රාහි පෙම්වතා විය. ඔහු සිනමාවේදී දුෂ්ටයින් පරාජය කළේය .
එහෙත් සැබෑ ජීවිතයේදී දුෂ්ට දේශපාලනය ඔහුව ශාරීරිකව පරාජය කළේය. ලයනල් රණසිංහ ඔහුට කොකා ගැස්සවූ වෙඩික්කරුසේ ප්‍රචලිතය .එහෙත් සැබෑව නම් ශ්‍රී ලංකාවේ ඇටුවන් බැස තිබෙන සම්මත දේශපාලනය සැමවිටම විජය කුමාරතුංගට තුවක්කුව මානාගෙන සිටියේය . විජයගේ මානුෂික දේශපාලන දැක්ම සැමකල්හිම අභියෝගයට ලක් විය.
විජය කුමාරතුංග දේශපාලනය නොනිමි ගමනක මතක එකතුවකි . ඉතිහාසය පෙරට ගමන් කරන්නේ මේ නොනිමි මතක සාක්ෂාත් කරගැනීමේ අරගලය ඔස්සේ නොවේද ?
ශ්‍රී ලංකා මහජන පක්ෂය
1984 දී විජය කුමාරතුංග තවත් වමේ පක්ෂ කිහිපයක් සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කළේය. විශේෂයෙන් රටේ සාමය සාක්ෂාත් කර ගැනීම පක්ෂයේ අරමුණ විය. සාමකාමී ප්‍රවිෂ්ටයක් මගින් උතුරේ යුද්ධයට විසදුම් සෙවීම ඔහුගේ අපේක්ෂාව විය. ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂවල සහය ලැබෙනු ඇතැයි යන විශ්වාසයත් ඔහු තුල තිබිණ. ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම තුලින් වඩාත් සාධනීය හා පුළුල් සහජීවන සමාජයක් ගොඩනැගීම, විජය කුමාරතුංග ගේ කෙටි දේශපාලන දිවිය පුරා දක්නට ලැබිණ
මිනිසුන්ට ආදරය කල අව්‍යාජ මිනිසෙක්
ඔහු සැබෑ මානව හිතවාදීයෙක්. පිවිතුරු හදවතකින් යුත් මිනිසුන්ට ආදරය කල අව්‍යාජ මිනිසෙක් බවට සාධක බොහෝය . ඔහු දේශපාලන වේදිකාවට ගොඩවන්නේ ජනතාවට සේවය කිරීමේ පිරිසිඳු චේතනාවෙන්. සිවිල් යුද්ධයේ බිහිසුණු සටන් මැද උතුරට ගොස් යාපනයේ ජනතාව ඇමතීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේද එම සියලු චරිත ලක්ෂණ උතුරේ ජනතාවද අනුමත කල හෙයිනි.
තරුණ අවධියේදී විජය කුමාරතුංග, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමඟ සම්බන්ධ විය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) එක්වන ඔහු කටාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින්, 1977 ජූලි මාසයේදී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) විජේපාල මෙන්ඩිස්ට එරෙහිව කටාන මැතිවරණ කොට්ඨාශයට තරඟ කර පරාජයට පත් විය. දිගටම ශ්‍රීලනිප යේ රැදී සිටි විජය කුමාරතුංග, 1980 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට විරෝධය පළ කරමින් දීප ව්‍යාප්ත උද්ඝෝෂණවල පෙරමුණ ගත්තේය.
‘නැක්සලයිට්’ චෝදනා
1982 ඔක්තෝම්බර් මාසයේදී බණ්ඩාරනායක මැතිනියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වූයේ ඇගේ ප්‍රජා අයිතිය අහිමිවීම හේතුවෙන්. ශ්‍රීලනිප අපේක්ෂකයා වූයේ හෙක්ටර් කොබ්බෑක්කඩුව මහතායි. විජය කුමාරතුංග සහ ඒ වන ඔහු හා විවාහව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කොබ්බෑකඩුව මහතාගේ වෙනුවෙන් සක්‍රීයව උද්ඝෝෂණ කළහ. එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කල ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපතිවරය ජයග්‍රහණය කර නැවත ජනාධිපති ලෙස තේරී පත් විය. එක්සත් ජාතික පක්ෂ රජය පෙරලා දැමීමේ ‘නැක්සලයිට්’ චෝදනා එල්ල කරමින්, ජේ ආර් 1982 නොවැම්බරයේදී විජය සමඟ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් සිය ගණනක් සිර ගත කළේය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණයක් නොපවත්වා තවත් වසර හයකට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ජේ.ආර් තීරණය කළේය. 1982 දෙසැම්බරයේදී ජේ.ආර්. ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කල පසු, 1983 ජනවාරි මාසයේදී විජය සිරභාරයෙන් නිදහස් කරන ලදී. දේශපාලන කටයුතු වලට පිවිසි විජය 1983 මැයි මාසයේදී ශ්‍රීලනිපයෙන් මහර ආසනයට තරඟ කල නමුත් සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය.
ශ්‍රී ලංකා මහජන පක්‍ෂය
මේ වන විට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර පක්‍ෂ අතර ආරවුල් පැන නැග තිබු බවත්, පිරිසක් පක්ෂයෙන් ඉවත්වීම කෙරෙහි අවදානය යොමු කොට සිටි බවටත් වාර්තා වූ අතර 1983 සැප්තැම්බර් මාසයේදී විජය ඇතුළු තවත් කිහිප දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරිණ. පක්ෂ කිහිපයක් සමඟ එක්ව, විජය සහ චන්ද්‍රිකා විසින් ශ්‍රී ලංකා මහජන පක්‍ෂය (ශ්‍රීලමප) නමින් අලුත් පක්‍ෂයක් පිහිටුවා ගනු ලබන්නේ ඉන් අනතුරුවයි.
1986 දී විජය මින්නේරිය අතුරු මැතිවරණයට අලුතින් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. ශ්‍රීලනිපය තුන්වැනි තැනට තල්ලු කරමින් විජය දෙවැනි තැනට පත් විය.
යාපනය අර්ධද්වීපයට
කොටි (එල්ටීටීඊ) සංවිධානය විසින් පාලනය කරන ලද යාපනය අර්ධද්වීපය එකල රජයේ නිලධාරීන්ට සහ සිංහල ජනතාවට තහනම් කලාපයක් විය. එහෙත් විජය කුමාරතුංග යාපනයේ සංචාරය කරන්නේ කරුණු දෙකක් මුල්කරගෙනයි. ඉන් පළමුවැන්න කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනකු නිදහස් කර ගැනීමයි. එල්ටීටී සංවිධානය සමඟ දේශපාලන සාක්චජා ඇරඹීම දෙවැන්නයි.
ඔහු නල්ලූර් මුරුගන් කෝවිලට ද ගොස් දෙමළ සිවිල් වැසියන් සමඟ සංවේදීතාව දක්වමින් ඔවුන්ගේ දුක්ගැනවිලි තේරුම් ගැනීමට ඇති කැමැත්ත ප්‍රදර්ශනය කළේය. ඔහුගේ සංචාරය ‘ධෛර්යයේ සහ සංහිඳියාවේ’ ප්‍රබල සංකේතයක් විය. මෙම සංචාරයට සිංහල සහ දෙමළ ප්‍රජාවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් පලවූ අතර ඒ වනවිටත් යුද ගැටුම් වලට මුහුණ දෙමින් හෙම්බත්ව සිටි ජනතාව තුල සාමය සඳහා වූ පුළුල් ඕනෑකමක් පලවෙමින් තිබිණ.
සොල්දාදුවන් වහාම නිදහස් නොකළද, මෙම සංචාරය ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා ගන්නා ලද ඓතිහාසික පියවරක් ලෙස සැලකිය හැක.
1986 දී ඔහුගේ යාපනය සංචාරය ඔහුගේ ඝාතනයට බලපෑවේද? ජනවාර්ගික සංහිඳියාව ඇති කිරීම සහ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම කෙරෙහි විජය කුමාරතුංගට බලවත් උනන්දුවක් පැවතිණ. ඔහු යාපනය සංචාරයේ නිරතවීමට පෙර, 1985 දී තමිල්නාඩුවේ දෙමළ සටන්කාමී නායකයන් හමුවීමට චන්ද්‍රිකා ඇතුළු දූත පිරිසකට නායකත්වය දුන්නේය. මෙහිදී කොටි සංවිධානයෙන් ඇන්ටන් බාලසිංහම් ඇතුළු පිරිසක් සමඟ සාකච්ජා පවත්වන ලදී. විජය කුමාරතුංග තමා මෙන්ම නළුවකු හා දේශපාලනඥයකු වූ මහ ඇමැති එම්.ජී. රාමචන්ද්‍රන් ඇතුළු කලා කරුවන් පිරිසක් සමඟද සංවාදයේ නිරත විය.
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම
විජය කුමාරතුංග සාම ගිවිසුමට සහය දැක්වූ අතර පළාත් සභා ක්‍රමය හඳුන්වාදීම උතුරේ වාර්ගික ගැටළු විසඳීමේ සාධනීය ක්‍රමෝපායක් ලෙස සැලකුවේය. කෙසේ වෙතත්, කුමාරතුංගගේ පක්ෂය ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමට සහය පළ කළත්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට විරුද්ධ විය. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුම කෙරෙහි දකුණේ දේශපාලන පක්ෂ කිහිපයක් හැරෙන්නට දැඩි විරෝධයකුයි දක්නට ලැබුනේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පල කරමින් කියා සිටියේ එමගින් ශ්‍රී ලංකාවේ ස්ව්‍ය්රීභාවයට තර්ජනයක් එල්ලකෙරෙන බවත්, ඔවුන් ගිවිසුම දුටුවේ ඉන්දීය ව්‍යාප්තවාදයට අතදීමක් ලෙස හා දෙමල බෙදුම්වාදයට මුල පුරන ලියවිල්ලක් ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ශ්‍රී ලංකා රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි අතර එම ගිවිසුම මගින් දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට විසඳුම් සෙවීමට වඩා බලය බෙදාගැනීම කෙරෙහි යොමු කර ඇති බවයි.
පළාත් සභා වලට බලය බෙදීම ඇතුළු ඉන්දු-ලංකා ගිවිසුමට සහය පල කිරීම, විජය කුමාරතුංග ඝාතනය කිරීමට හේතුවූ සාධකයක්ද?
විජය කුමාරතුංගගේ ඝාතනය ගැන අදහස් දක්වන සමහරෙක් ඔහුගේ දේශපාලන පරිණතභාවය පිළිබඳවද ප්‍රශ්න කරති. ඔවුන් තර්ක කරන්නේ ඔහු ශ්‍රී ලංකාවේ සංකීර්ණ දේශපාලන භූමියේ සැරිසැරීමට අපොහොසත් වූ බවයි. විරෝධය මධ්‍යයේ විජය කළ යාපනය සංචාරයත්, ඉන්දු-ලංකා ගිවිසුමට ඍජුවම සහයෝගය දැක්වීමත් ඉදිරිපත්වන තවත් හේතු කිහිපයකි.
විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව තවත් මත පළවුවත්, ජවිපෙ සටන්කාමී අංශයේ අණ පරිදි තමන් ක්‍රියා කළ බව පවසමින් ලයනල් රණසිංහ පොලිස් ප්‍රශ්න කිරීම් වලදී විජය කුමාරතුංග ඝාතනය කළ බව පාපෝච්චාරණය කළේය. එසේම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් දක්නට ලැබුණු පෝස්ටර්වලද එම ඝාතනයේ වගකීම පිළිගෙන තිබුණි.
අඳුරු උමඟක අවසානය?
විජය කුමාරතුංගගේ බිරිඳ, චන්ද්‍රිකා කුමාරතුංග 1994 දී ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1988 පෙබරවාරි 16 වැනිදා ඝාතනයට ලක්වූ සිය සැමියාගේ දේහය ඉදිරිපිටදී ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට දිවුරා ප්‍රතිඥාදී තිබියදීයි. ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම, සමාජවාදී ප්‍රතිපත්ති, සහ සමාජ සුබසාධනය යන ආදී ප්‍රධාන කරුණු මත ජනතාව තැබූ විශ්වාසය ඇගේ ජයග්‍රහණයේ මූලික සාධක ලෙස සැලකේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 ජනාධිපතිවරණය ජයගෙන යාපනයට ගිය අවස්ථාවෙදී උතුරේ කාන්තාවන් ඇය වැළඳගත්තේ තම ගැලවුම්කාරිය පැමිණ සිටින බවට ප්‍රීති ඝෝසා නගමින්. ඇගේ නළලේ පොට්ටුවක් තබමින් සිය ලෙන්ගතුභාවය ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඇයට ආශීර්වාද කළහ.
එම ජනාධිපතිවරණයෙන් ලක්ෂ විස්සකට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග දැවැන්ත ජනවරමක් හිමි කරගත්තාය. (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 4,709,205. එක්සත් ජාතික පක්ෂය 2,715,283) එය 62.28% ක ප්‍රතිශතයකි.
” අඳුරු උමඟක අවසානයට පැමිණ සිටින අපි නිදහසේ සහ ආලෝකයේ නව යුගයක් කරා ගමන් කරමින් සිටින්නෙමු,” ජයග්‍රහණයෙන් පසු ඇය ප්‍රකාශ කළාය.
ජනාධිපතිනි කුමාරතුංග බලයට පත්වීමෙන් අනතුරුව, ඒ වනවිට උතුරු නැගෙනහිර පළාත්වලට පවරා දී තිබූ බලතල ව්‍යවස්ථාපිත මට්ටමින් සහතික කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනා කෙටුම් පතට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුන හෙයින් බලය බෙදීමේ පැකේජය සම්මත කර ගැනීමට නොහැකි විය.
මේ හේතුවෙන් දමිළ ජනතාවගේ අභිලාෂයෙන් මුදුන් පත්කිරීමට නොහැකිවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ වනවිට තමන්ට පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සමඟද සාකච්ජා කරමින් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා පිඹුරු පත් සකස් කරමින් සිටින බවට ජන මාධ්‍ය වල විවධ වාර්තා පලවෙමින් තිබේ. ඇගේ මේ ක්‍රියාවලිය උතුරේ ජනතාව කෙසේ වෙතත්, දකුණේ ජනතාවද දේශපාලන වශයෙන් අතිශයින්ම ඉච්චාභංගත්වයකට පත්කිරීමක් නොවන්නේද?