ශ්‍රී ලංකාව “ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ” සිදු නොකළහොත් ශ්‍රී ලංකාවට නව අරමුදල් ලබා නොදෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කොට ඇත. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාව පෙළන ආහාර හා ඉන්ධන හිඟය, විදුලිය විසන්ධි වීම සහ උද්ධමනය ඉහළ යමින් පවතී.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක්…
ලෝක බැංකුව කියා සිටියේ අර්බුදයේ බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති වන බලපෑම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන නමුත් රජය අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර ගන්න තෙක් අරමුදල් ලබා දීමට සූදානම් නැති බවයි.
“ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරයි,” යැයි ලෝක බැංකුව පවසයි.
“ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන අතරම මෙම අර්බුදය නිර්මාණය කළ මූල ව්‍යුහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීම ද අවශ්‍ය වේ.” වෙනත් විදියකින් කියතොත් ප්රශ්නය මතුපිටින් අතගෑම ප්‍රමාණවත් නොවේ.
දැනට හදිසි අවශ්‍යතා සඳහා අවශ්‍ය ඖෂධ, ඉවුම් පිහුම් ගෑස් සහ පාසල් ආහාර සැපයීම සඳහා ඩොලර් මිලියන 160ක් ලෝක බැංකුව විසින් ලබා දී ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇත්තේ අර්බුදය හේතුවෙන් සෑම ශ්‍රී ලාංකික පවුල් හයකින් පහකටම අඩු ගුණාත්මක ආහාර මිලදී ගැනීමට, අඩුවෙන් ආහාර ගැනීමට හෝ සමහර අවස්ථාවලදී ආහාර සම්පූර්ණයෙන්ම අත්හැරීමට සිදු වී ඇති බවයි.
අධි උද්ධමනය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කෙරෙන උද්ධමනය ජුලි මාසයේදී 60 % ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම මාසයේදී ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 90.9%ක් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මහජන සභාවක්…
මේ තත්වය යටතේ පවතින කුට්ට්ටම ඇනීමෙන් ගොඩනගා ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරවා ගත හැකිද යන ප්රශ්නය මතුවේ. පවතින පාර්ලිමේන්තුව තුළ ගැඹුරු ව්‍යුහාත්මක කතිකාවක් නොමැති හෙයින් නීතිමය පිළිගැනීමක් ඇති මහජන සභාවක් වහාම ගොඩනැංවිය යුතු බව විද්වතුන් පෙන්වා දෙති.