පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතුව ඇති මහාවංශයේ පිටපතක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත .
යුනෙස්කෝහි අධ්‍යක්ෂක ජනරාල් ඕඩ්රි අසූලේ ජුලි 17 වන දා මෙම සහතිකය නිකුත් කලේ වසර තුනක වෑයමක ප්‍රතිපලයක් ලෙසින් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්.ඩී. ළමාවංශ පවසන්නේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මෙම පිටපත විමර්ශනයට එක්වූවෙකි.
“මහාවංශයේ පිටපත් විශාල ප්‍රමාණයක් ලංකාව පුරා තියෙනවා. අපි පන්සල් සීයක් විතර සතුව තියෙන පිටපත් පරීක්ෂා කළා. ඒ විදිහට පරීක්ෂා කරනවිට ක්‍රි.පූ. 6වන සියවසේ සිට ක්‍රි.ව.1815 දක්වා අඩුපාඩුවක් නොමැතිව අඛණ්ඩව ලියවිලා තිබුණ පිටපත් තුනක් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතුව තිබුණා. ඊට අමතරව දළදා මාළිගාව සහ මාතලේ අලු විහාරය සතුවත් පිටපත් තිබුණා,”මහාචාර්යවරයා විස්තර කළේ ය.
“පෙරදෙණිය විශ්වවිද්‍යාලය සතුව තිබුණ පිටපත් තුන පරීක්ෂා කරනවිට එයින් එක් පිටපතක් ඉතාම නිවැරදිව පරිච්ඡේද 99ක් යටතේ පත්තිරු 237ක ඉතා හොඳ ව්‍යක්ත භාෂා විලාශයකින් ලියවිලා තිබෙන බව නිරීක්ෂණය වුණා. ඓතිහාසික කරුණුත් සමඟ නිවැරදිම සහ අඛණ්ඩව ලියවිලා තිබුණ පිටපත විදිහට එය හඳුනා ගත්තා.”
මහාචාර්යවරයා පෙන්වා දුන්නේ මෙවැනි ග්‍රන්ථයක් ලෝක උරුමයක් කිරීම සඳහා යුනෙස්කෝව සලකා බලන ව්‍යතිරේඛයන් ද මෙම පිටපත සම්බන්ධයෙන් තිබූ බවයි. “මේ පිටපත වාසනාවකට පෙරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව තිබෙන්නේ. ඒ නිසා එය පරිහරණය කිරීමට ඇති හැකියාව සහ සංරක්ෂණය සම්බන්ධ කොන්දේසි එමඟින් ළඟා කරගැනීමේ හැකියාවත් අපට තියෙනවා.”
මේ ග්‍රන්ථය රචනා කළේ කවු ද?
මෙම ග්‍රන්ථය බොහෝ දුරට ස්වාමීන් වහන්සේලා තිදෙනෙකු විසින් ලියා අවසන් කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි මහාචාර්ය රෝහිත පැවසුවේ ය. “මෙම කෘතිය අතින් ලියා තිබෙන්නේ ඉතාම හොඳ භාෂා විලාසයකින්. හොඳ ව්‍යක්ත භික්ෂූන් වහන්සේ නමක් විසින් ලියා තිබෙන බව පෙනෙනවා. අපි දැනට විශ්වාස කරනවා භික්ෂූන් වහන්සේලා තුන් නමක් මේක ලියන්න ඇති කියලා. මෙහි වැඩි කොටසක් ලියා තිබෙන්නේ මල්වතු මහවිහාරයේ පළමු නායක ස්වාමීන් වහන්සේ වුණු තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ විසින්.”
ඒ අනුව මෙය 1800ට පෙර ලියැවුණු පිටපතක් බව මහාචාර්යවරයා සඳහන් කළේ ය. “මෙම කෘතිය ලියා අවසන්වන තෙක් නායක හාමුදුරුවන් ජීවත් නොවූ නිසා ඉතිරි කොටස තවත් භික්ෂූන් වහන්සේ නමක් විසින් ඉතාම ව්‍යක්තව ලියා අවසන් කර තිබෙනවා.”
මේ පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?
මහාවංශය පළමුව රචනා කළේ අනුරාධපුර යුගයේ මහාවිහාරවාසී භික්ෂුවක් වූ මහානාම හිමියන් විසින් බව ඉතිහාසයේ සඳහන් වේ. එම කෘතියේ වැඩිම පරිච්ඡේද ගණනක් වෙන් වී තිබුණේ දුටුගැමුණු රජු වෙනුවෙන් ය. ඉන්පසු මහාවංශය විවිධ හිමිවරුන් විසින් පසුව ලියා තිබේ. වර්තමානය වන විට එහි පිටපත් රාශියක් ශ්‍රී ලංකාව පුරාම තිබේ. එසේ නම් උක්ත පෙරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වන්නේ කෙසේද?
ඒ සම්බන්ධයෙන් විමසූ විට මහාචර්ය රෝහිත ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. “ක්‍රි.පූ හයවසන සියවසේ සිට ක්‍රි.ව. 1815 දක්වා කිසිම අඩුපාඩුවක් නොමැතිව අඛණ්ඩව ඉතිහාසය ලියා තිබෙන ලෝකයේ ග්‍රන්ථය වෙන්නේ මේ පිටපත පමණයි. චිනයේත් ඉතිහාසය ගැන ලියැවුණු පොත් තිබුණාට ඒවා රාජවංශ විදිහට වෙන වෙනම ලියැවුණු ඒවා. එකම ග්‍රන්ථයක මේ තරම් කාල පරාසයක ඉතිහාසයක් කිසිඳු ග්‍රන්ථයක ලියැවිලා නෑ.”
“වසර 2600ක් පමණ කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ, බුද්ධාගමේ ඉතිහාසය මේ තුළ ලියවිලා තිබෙනවා. ඉන්දියාවේ ඉතිහාසය පවා මේ පොතේ ලියැවිලා තිබෙනවා.”
එමෙන් ම මෙම ග්‍රන්ථය ක්‍රි.ව. 12වන සියවසේ දී කාම්බෝජ භාෂාවට ද පරිවර්තනය වී ඇති බව ඔහු පැවසුවේ ය. “12වන සියවස වන විටත් මේ පොත සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රචාරයක් තිබුණා. 19 වන සියවසේ දී විල්හෙල්ම් ගයිගර් වගේ පඬිවරුන් මෙය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා.”
‘මෙය තනි ජාතියක පොතක් නොවෙයි’
මෙම ග්‍රන්ථය හුදෙක් බෞද්ධාගමික හෝ සිංහල ජාතියේ ග්‍රන්ථයක් නොවන බව මහාචාර්ය රෝහිත පැවසුවේ ය. “මේ ග්‍රන්ථයේ කියන්නේ සිංහල මිනිසුන්ගේ ඉතිහාසයවත් බෞද්ධාගමිකයන්ගේ ඉතිහාසයවත් නොවෙයි. සමස්ත ඉතිහාසයම මෙහි ලියවිලා තිබෙනවා. දෙමළ පාලකයන්ව පවා එහි වර්ණනාවට ලක් කරලා තිබෙනවා.”
එහි එළාර රජු පිළිබඳව ද විශේෂයෙන් සටහන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
ලෝක උරුමයක් වූ මෙම පිටපත පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබා දුන්නේ කවුරුන් විසින්දැයි තවම සොයාගැනීමට නොහැකි වූ බව මහාචාර්ය රෝහිත දසනායක පැවසුවේ ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසුවේ මෙම පිටපත පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව වසර පනහක පමණ කාලයක් පුරා තිබී ඇති බවයි. “1964දි පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සෝමදාස කියන පුස්තකාලාධිපතිවරයා විසින් විවිධ තැන්වල තිබුණු පුස්කොළ පොත් එකතු කරලා ඒවා සංරක්ෂණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට ගෙනැවිත් තිබෙනවා. ඒ වෙලාවේ දී මේ පුස්කොළ පොතත් ගේන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ,” මහාචාර්ය ළමාවංශ පැවසුවේ ය.
සංරක්ෂණය කර තිබෙන්නේ කෙසේ ද?
මහාචාර්යවරුන් දෙදෙනාම පෙන්වා දුන්නේ මෙම ග්‍රන්ථය හානියක් නොවන ආකාරයෑන් ඉතා හොඳින් සංරක්ෂණය කර ඇති බවයි. ඕනෑම හදිසි තත්වයක දී එය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව ඔවුහු ප්‍රකාශ කළ හ. මීට අමතරව ඓතිහාසික ග්‍රණත සහ පුස්කොළ පොත් 5000කට වැඩි එකතුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු බවත් ඒවා ඉතා හොඳින් සංරක්ෂණය කර තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ. “ගින්නක් ඇති වුණත්, මුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලයම ජලයෙන් යටවුණත් මේ පොත් ආරක්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකසලා තිබෙනවා,” මහාචාර්ය රෝහිත පැවසුවේ ය.
මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමට යමෙකුට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගෙන එය අධ්‍යනය කිරීමේ හැකියාව ද පවතියි.