ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් බියෙන්

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් බියෙන්

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන යුද උණුසුම මැද ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ගේ බියට පත්ව සිටින බව ලෙබනනයේ සිට ලංකා නිව්ස් ලයින් සමඟ කථා කළ ලයිලා නුරානි පැවසුවාය.

The entrance of a building surrounded by rubble

දැඩිව ප්‍රහාර එල්ලවන දකුණු ලෙබනයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන ලයිලා නුරානි කියා සිටියේ මෙවන් විට බොහෝ දෙනා ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවයි .

රටවල් රැසක්ම දැනටමත් සිය පුරවැසියන්ට ලෙබනනයෙන් ඉවත් වන ලෙස දැන්ව ඇති නමුත් ලෙබනනයේ  ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර පැවසුවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දැනට නොසන්සුන් වාතාවරණක් පැවැතියද දැනට එරට සිටින ලාංකිකයින් ආරක්ෂිතව සිටින බවයි.

තානාපති කපිල ජයවීර

 

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර වෙඩි හුවමාරුවක් ඉරිදා අලුයම් කාලයේදී සිදුවිය.ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ දැනට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 7600ක් පමණ සිටින බවය. ඉන් බහුතරය ගෘහ ශ්‍රමිකයින් ය. ඊශ්‍රායල දේශසීමාවට ආසන්න දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 20කි.

 

විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 11,170කි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ලෙබනනයෙන් ඉවත් වන ලෙසට එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් උපදෙසක් ලබා දී නොමැති බවය.

එමෙන්ම අලුතින් ලෙබනනය වෙත යාමට අපේක්ෂාවෙන් සිටින අයට පමණක් තාවකාලිකව එරටට යාමෙන් වළකින ලෙසට යෝජනාකර සිටින බවද ඔහු පැවසීය.

යම් හෙයකින් ලෙබනනයේ දැනට සිටින ලාංකිකයින්ට මව් බිමට පැමිණිමට අවශ්‍යතාවක් මතු වුවහොත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී සිංහල වෙත පවසා ඇත .

 

A damaged and rusted car surrounded by debris

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක්ද ලෙබනනයේ සේවය කරති. හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පැවසුවේ, ඔවුන් ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මූලස්ථානයේ ආරක්ෂව භාරව කටයුතු කරන බවය.

ඊට නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලයන්ට අයත් හමුදා සාමාජිකයින් හා සාමාජිකාවන් 114 දෙනෙකු ඇතුළත් වේ.

ශ්‍රී ලංකා හමුදා භටපිරිස් ලෙබනනයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටින්නේ 2010 වසරේ සිටය.

යුද භීතිය වර්ධනය වීම හේතුවෙන් රටවල් කිහිපයක් ලෙබනනය හැර යන ලෙස තම ජාතිකයන්ගෙන් ඉල්ලා ඇති අතර ලයිලා නුරනි පැවසුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේ දැඩි අවිනිශ්චිත බවක් ඇතිවී තිබෙන බවයි.

Related Articles