මේ නිශාන්තයේදී

මේ නිශාන්තයේදී

නිශාව යනු රාත්‍රියයි . නිශාන්තය යනු සන්සුන් රාත්‍රී යාමයකි . එහෙත් සනත් නිශාන්ත ගේ මරණයෙන් අනතුරුව බිහිව ඇත්තේ සන්සුන් බවක් වෙනුවට බියකරු අන්ධකාරයක පෙරනිමිතිය.
දැන් කිසිවෙකුටත් සනත් නිශාන්ත ගැන කථා නොකර ඉන්න බැරිය . ඔහු ඒ තරම් ප්‍රබල මාතෘකාවක් බට පත්වී ඇත්තේ සමාජය තුළ කැකෑරෙමින් තිබෙන අසහනකාරී තත්වයක් හේතුවෙනි .ඒ අසහනය බියකරු හෙටක පෙරවදනයි.

 

සනත් නිශාන්ත ගේ බිරිඳ සහ දරුවන් ගේ කඳුළු බරය .
සනත් නිශාන්ත හා ඔහු ගේ කඳවුරේ සහචරයින් ගේ හැසිරීම් හේතුවෙන් ගැලූ කඳුළු ද එලෙසින්ම බරය . සනත් නිශාන්ත ගේ කුඩා දියණිය ඔහුගේ නිසල දේහය අසලට ගොස් කියා සිටියේ තාත්තා ඉල්ලු සියල්ල තමන්ට ලබාදුන් බවය එහෙයින්  දියණියය ඉතා අහිංසක ඉල්ලීමක් කළාය . ඒ එකම එකවරක් නැගිට කතා කරන්නටය.

සනත් නිශාන්ත ගේ මරණය සම්බන්ධයෙන් පළවෙන ඇතැම් සමාජ මාධ්‍ය වෛරකාරිය . ඒවා අනුමත කළ නොහැකි බවට කතා දෙකක් නැත . එහෙත් ඒ වෛරකාරිබව ඇතිවීම සඳහා සනත් නිශාන්ත හා ඔහුගේ කඳවුර දැක්වූ දායකත්වය බැහැර කල නොහැක .ඒ ගැන වග උත්තර බඳින්නට සනත් නිශාන්ත නැතත් ඔහු ගේ කඳවුරේ දඩ බල්ලන් ලෙස කටයුතු
කළ සහචරයින් මේ මරණය තුලින් පාඩමක් ලබා ගැනීමට යුහුසුළු වේද යන්න ගැටලුවකි.

සනත් නිශාන්ත අරගල බිමේ එතෙක් සාමකාමිව සිටි විරෝධතා කරුවන්ට ප්‍රහාර එල්ල කරන්නට මුලිකත්වය ගත්තා පමණක් නොව ඉරාජ් සමඟ එක්වී ඒ පහර දීම සාධාරණීයකරණය කළේය . ඔහු ගේ මරණයෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය මේ වන විට ඔබ දැක ඇති එහි කතෘත්වය තහවුරු වී නැතත් ඒ කියන සිද්ධිය බොහෝ දෙනාට මතක ඇත.

 

හලාවත රෝහලේ

මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.

මීට වසර බොහෝ ගණනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කළ නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කළේ නැත.

රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. “ෙසනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා” රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධව ය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කළ පහර දීම නිසාය.

මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලා ය. පුටු මේස පෙරලලා ය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.

ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.

සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.

අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. “A man’s got to know his limitations”

ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.

නූගත්, ජනප්‍රිය චරිත පාර්ලිමේන්තුවට පත්කර, ඉල්ලන් කන ජනතාවක් සිටිනතාක් කල්, අප රටට බුදු සරණයි , දෙවි පිහිටයි

 

ගාලු මුව දොර පහරදීමට ටික වෙලාවකට පෙර දේශබන්දු තෙන්නකෝන් සමඟ

ආදේශ කල චරිතය

සනත් නිශාන්ත තොරොම්බල් කළේ ඔහුගේ ඡන්දදායකින් විසින් ඔහුට ආදේශ කල චරිතයයි . පොලීසියේ ඕ අයි සීට හෝ ප්‍රාදේශීය ලේකම්ට කුණුහරුප දෙකක් කියා කසිප්පු ටික නිදහස් කරගැනීමට හෝ හොරාට පස් සහ වැලි පර්මිට් ලබාගත හැකි මන්ත්‍රී වරයෙක් පුත්තලමේ බොහෝ දෙනකුට අවශ්‍ය වූ නිසා වැඩිම මනාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැවුවා විය හැකිය. මේ ආකාර වැඩපිළිවෙලක් රට පුරාම ක්‍රියාත්මක වූ හෙයින් කසිප් පු ගුබ්බෑයමකට හෝ වැද්ද නොගත යුතු පිරිස් දියවන්නාවේ අභිෂේක ලබා ගම් දනව්වල තම අනසක පැතිර වුහ.
මිය යෑමට දින කීපයකට මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක දී ඔහු කියා සිටියේ ‘තමන් බෙම්පි සිංග්ඤ්යෝ නොවන බවත් ගහලා හිරේ යන සනත් නිශාන්ත බවත්ය’.මැරකම ඔහුගේ සන්නාමය වූ බව පැහැදිලිය.පිස්තෝලය ඔහුට සෙල්ලම් බඩුවක් විය . එහෙත් මරණයෙන් පසුවත් මේ විරෝධය නැගන්නේ ඒ මැරකම නිසාම නොවේ .විරෝධය නැගෙන්නේ දේශපාලනය නම් කඩතුරාවෙන් දවටාගත් ඒ මැරකම උත්කර්ෂයට නැවීමට ගත් උත්සාහය නිසාය .

ඔහුගේ මරණයේදී නැගෙන මේ විරෝධය තුල ඇත්තේද ප්‍රචණ්ඩ බවයි එක් ප්‍රචණ්ඩ වෙසකට වඩා තවත් ප්‍රචණ්ඩ වෙසක් හොඳයි කීම අනුවණ කමකි .

එහෙත් දැන් දිගටම සිදුවන්නේ සිව් දිගට ප්‍රචණ්ඩ බව පැතිර යාමයි . එහෙයින් අප වෙසෙන්නේ ගිනි කන්දක් මතය. මේ ගිනි කන්ද පුපුරා ගියහොත් ඒ පිපිරීම අන් සියළු පිපිරීම් වලට වඩා දරුණු වනු ඇත

කඳුළින් තොර යහපත් ක්‍රියාදාමයන් වැඩි කරගැනීම පරමාදර්ශී ජීවිතයයි.
නතං කම්මං කතං සාධු
යංකත්වා අනුතප්පතී
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටි සේවතී

Related Articles