ඕනෑම මැතිවරණයකට ඕනෑම වෙලාවට සූදානම් බව කියන පොහොට්ටුව උභතෝකෝටික අර්බුදයකට මුහණ දී සිටී. මෑත සමීක්ෂණයකට අනුව ඊට හිමි ප්‍රසාදය සියයට හයක් තරම් පහළට බැස තිබේ. තමන්ගේ අපේක්ෂකයා කව්රුන්දැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබේ. සජිත් සහ අනුර කුමාර ඉදිරියට එමින් සිටින හෙයින් ඡන්ද පදනම තවදුරටත් හැකිලී යා හැකිය. අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රබලයින් කීප දෙනක් ඇමතිකම් නැති සොවින් පසුවෙන අතර ඔවුන් පවසන්නේ රනිල් සමඟ ඇති ඇයි හොඳයිය අවසන් කොට ප්‍රතිපලය කුමක් වුවත් මැති වරණයට මුහුණදීමට සුදානම් වියයුතු බවයි .සමස්තයක් වශයෙන් ගත් කළ පළපුරුදු දේශපාලඥයින් රැසක් සිටින පොහොට්ටුවට මේවා විසඳිය නොහැකි ප්‍රශ්න නොවේ.
එහෙත් සැබෑ ප්රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ සජබ සමඟ සන්ධාන ගත වුවහොත් රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටු කණ්ඩායමට සිදුවන්නේ කුමක්ද යන්නයි. මේ නිසා මහින්ද රාජපක්ෂට තීරණයක් ගැනීමට සිදුවිය.
”මා 2015 වසරේදී රටට දායාද කර ගියේ ශක්තිමත් ආර්ථිකයක් බව ඉතිහාසයේ සටහන් වී තිබෙනවා. එහෙත් 2015න් පසු 2019 දක්වා කාලයේදී අසල්වැසි රටවල් සියල්ල ජවසම්පන්න ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වුණා.” යැයි නිවේදනයක් නිකුත් කිරීමට මහින්ද රාජපක්ෂට සිදුවිය.
මේ නිවේදනයෙන් පහර ගසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති 2015-2019 අතර කාලයේ අගමැති වශයෙන් සිටියදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි. මෙය වික්‍රමසිංහ රාජපක්ෂ පිපිරීමක ආරම්භය යැයි අර්ථකතනය කල හැකි වුවත් එය එසේ නොවනු ඇත. රනිල් වික්‍රමසිංහට මෙවැනි දේ හුරු පුරුදුය.
සැබෑ ප්රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ සජිත් ඇතුළු සමඟි ජන බලවේගය සමඟ එකතු වීමට තීරණය කළ හොත්ය. රනිල් වික්‍රමසිංහ ගේ මුල්ම උපක්‍රමය වුයේ පොහොට්ටුවේ සහ සමඟි ජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම බව අනුමාන කල හැකිය.
එහෙත් සිතු පරිදි සමඟි ජන බලවේගය අඩපන නොවීය මීළගට ඇති පියවර නම් නම්‍යශීලී ලෙස සමඟි ජන බලවේගය සමඟ එකතුවීමයි . මේ සඳහා රනිල් වික්‍රමසිංහ කැමැත්ත පල කළහොත් සජිත් ප්‍රේමදාසට ඊට එරෙහි විය හැකි නොවනු ඇත. මන්දයත් ජාතික ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක ප්‍රබල ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති.
වික්‍රමසිංහ සාධකය පාලනය කර ගැනීමට යමක් කල යුතුව තිබෙන බව මහින්ද රාජපක්ෂ දනී. එහෙත් දැනට කළ හැකි දී සීමිතය.