මනුෂ  – හරින් මන්ත්‍රී ධුර අහෝසි

මනුෂ – හරින් මන්ත්‍රී ධුර අහෝසි

ඇමතිවරුන් වන මනුෂ  නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන දෙදෙනාගේ සමගි බලවේගය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය   තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී ඇත්තේ, ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමිනි.

එම පෙත්සම විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ මන්ත්‍රී ධුරයද අහෝසි වේ.

 

සරත් ෆොන්සේකා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයේ සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල්ද තැන්පත් කර ඇත.

මනූෂ නානායක්කාර මහතා 2020 මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.

 

ඒ අනුව මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව ද රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

 

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගත් අයෙකු වන බැවින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බව ද රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේය.

 

 

 

Related Articles