මංජුල ගජනායක බොහෝ දෙනා අඳුරන්නේ දේශපාලන විශ්ලේෂකයෙක් සහ මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙසිනි . එහෙත් මංජුල තුළ සජීවී ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයෙක්ද වෙසෙයි . පසු ගියදා ප්‍රවීන විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ තම ජීවන තතු එක්තැන් කොට පළ කළේය . මංජුල තුල විසු ක්‍රීඩා ලෝලියා අවදි විය මේ ඔහු තැබූ සටහනයි .
ලොව පරසිදු වෝල් ස්ට්‍රීට් ජර්නල්හි නිත්‍ය තීරු ලිපි රචිකාවියක් මතු නොව බහුවිධ මාධ්‍ය ජයගත් ලියන්නියක් ද වන මාර්ග්‍රට් එලෙන් නුනන් හෙවත් පෙගී නුනන් වරක් මෙලෙස පැවසුවාය. ”රූපවාහිනිය සැමට රූප ගෙනෙන්නේය – එහෙත් රේඩියෝව මිලියන සංඛ්‍යාත මනස් තල මත්තේ මිලියන සංඛ්‍යාත චිත්ත රූප මවන්නේය”.
පෙගී මේ මාහැඟි වදන කියන ලද්දේ ප්‍රේමසර ඈපාසිංහයන් දෙස බලා නොවන බව මා දනිමි. එහෙත් යටත් පිරිසෙන් පරම්පරා ත්‍රිත්වයක් ක්‍රිකට් කොමෙන්ටරිය නම් වූ රන් හුයෙන් එකිනෙක යා කළ ප්රේමසරගේ ප්‍රේමනීය වූ ගැඹුරු වදන් පෙළහර, සැනෙන් ක්‍රිකට් යනු කිමැයි නොදන්නා පොඩිහිටියෙක් වුව ආශක්ත කරන දිව මතුරක්ව තිබූ දශක කිහිපයක් අපි මේ කොදෙව්වේ ගෙවා ඇත්තෙමු.
ක්‍රිකට් යනු අතලොස්සක් අත රැඳි යටත් විජිත දායාදයක් බව සැබෑය. එහෙත් ඒ හා බැඳුණු සංස්කෘතිය, ශ්‍රී ලාංකේය පුරවැසි ප්‍රජාවේ සම්, මස්, ලේ, නහර ඇට, ඇට මිදුළු ද විනිවිද යන ගැඹුරු ප්රේක්ෂාවක්ව ඇත්තේය. එදත් ශ්‍රී ලාංකිකයා සැලෙන -සසැලෙන -උද්වේගකර වූ හදින් ක්‍රිකට් වැළඳ ගත්තේය. එලෙසම ප්‍රමාණාත්මක වෙනස්කම් තිබිය හැකිවුවද හෙටත් ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය නම් නොසිඳෙනු ඇත.
ප්රේමසරගේ බසෙහි නිබඳව දිසි, ළගන්නා සුළු ඕජෝ ගුණය..
එලෙස මෙරටේ වැසියා තුළ ක්‍රිකට් පත්තියම් වූයේ හුදු ක්‍රීඩකයන්ගේ මනබන්ධනිය වූ මහරු ක්‍රීඩා විලාශයේ සුවිශිෂ්ඨතාව නිසා ම නොවේ. ඊට අනුශංගිකව ක්‍රිකට් නම් වූ දෝලාව කරතබා ගනිමින් දිගු චාරිකාවක් කළ පූරක පරපුරක සංප්රවේශී හැකියාවේ නිපුණත්වය හා අනගිභවනීය කැපවීමේ මහිමය නිසාය. එහිලා ප්‍රේමසර මයික්‍රෆෝනය අභියස සිට මුදා හැර ඇති වදන් ප්‍රමාණය මිලියන ගණනකි. ඒ සෑම වදනක් පාසා ම බසෙහි නිබඳව දිසි, ළගන්නා සුළු ඕජෝ ගුණය වඩවමින් ඔහු අප මනස් තලයේ ඇඳි ක්‍රිකට් සිත්තම් ගණනද මිලියන සංඛ්‍යාතය. ක්‍රිකට් පිටියට පතිත වන දැඩි අව් රශ්මිය මඟින් තීවෘ කරන දාහයත් – පිතිකරුවා එල්ලකරන මනරම් කවර් ඩ්‍රයිව් පහරක රැඳි ප්රවේගකාරිත්වයත් ශුද්ධ හා අමු වදන් මිශ්‍රිත සුපිරි සිංහල බසින් වණමින් ක්‍රිකට් සතු ජීව ගුණය ඔප් නැංවූ මේ නිහඬ මිනිසා පරම්පරා ත්‍රිත්වයක් ඇමතු දැනුම්වත් විස්තර සමායෝජකයෙකි.
සිංහල ක්‍රිකට් කොමෙන්ටරිය නම් වූ පැළෑටිය අද හොඳින් අතුපතර පැතිරුණු රූක්ෂ වෘක්ෂයකි…
මෙරටේ ක්‍රිකට් විස්තර විචාරය ඉංග්‍රීසි බසෙහි රැඳි ඖදාර්යවත් වූ ගුණය මත්තේ ඊට ම සින්න වන්නට ගිය සමයක, කරුණාරත්න අබේසේකර වැනි පෙරටුගාමී සන්නිවේදකයන් පාදා දුන් මඟ තම ආයාසකර වූ මැදිහත්වීමෙන් එළිපෙහෙළි කරගත්තෝ ප්‍රේමසර ඈපාසිංහ වැන්නෝය. අබේසේකරයන්ගේ පටන් ප්‍රේමසර, පාලිත වැන්නන් අතින් අත ගොස් කෙටි හා නූතන වදන් භාවිතයේ සූර කැළුම් ශ්‍රීමාල් දක්වා වූ සම්ප්රවේෂකයන් පරෙස්සමෙන් හැදු වැඩු සිංහල ක්‍රිකට් කොමෙන්ටරිය නම් වූ පැළෑටිය අද හොඳින් අතුපතර පැතිරුණු රූක්ෂ වෘක්ෂයකි. සමාජ ජාල ප්රාදුර්භූත වනතෙක්ම ඊට ලැබුණු පිළිගැනීම අති මහත්ය.
සිංහල බස නිවැරදිව හසුරුවන තැනැත්තා දෙස අද ද මෙරටේ සමහර වැස්සෝ නොපහන් හැඟුමෙන් බලා කියන්නේ ”අයියෝ අපබ්‍රංශ නේ” කියාය. කවර බසක වෙසරද වූයේ වුව මවුබස නිවැරදිව වර නොනැගීම උදාරම් කමක් වන්නේ කෙලෙසද?. එබැව් දත් කුමරතුඟු මුනිදසුන් වරෙක මෙලෙස තෙපළුවෝය.
දේශජ පන්දු කෙළියක අහුපෑවත පාන්නා සේ
”සිංහල බස පාලි මවටත්, සංස්කෘත පියාටත් ජාතවු අවජාතකයෙක් නොවේ. ඊටත් වඩා පැරැණි වූත්, උදාරම් වූත් බසකි. එබැව් දැන හෝ නොදැන ප්‍රේමසර තම හැඩකාර බසින් හා ගැඹුරු උච්චාරණ ශෛලියෙන් වර්ණ ගැන්වූ ක්‍රිකට් විස්තරය, ගම් නියම්ගම් සිසාරා විහිද පැතිර ගියේ දේශජ පන්දු කෙළියක අහුපෑවත පාන්නා සේය. එනයින් ඈපාසිංහ මෙරටේ තුන්කල් බුහුමන් ලත් ක්‍රීඩාවේ කීර්තිධර සන්නාම තානාපතිවරයෙක් වන්නේය. – ඔහු ඊට අමතර වශයෙන් වියත් ඇසුරේ සිටිමින් ක්‍රීඩා ශබ්ධ කෝෂයට නව වදන් ද පිරිද්දුවේය. වැල යන පැත්තට මැස්ස නම් කිසිදා නොගැසුවේය.
වැරදුණු තැන් දුලබය. බැබලීම නම් එලෙසමය…
රිචී බෙනෝ යනු අසීමිත අභිමනට පත් ක්‍රිකට් ලොව එකළු කළ විස්තර විචාරකයෙකි. වරෙක ඔහු ක්‍රිකට් කොමෙන්ටෙරියක අන්තර්ගත නිසඟ සාධක අටක් පිළිබඳ අනාවරණය කළේය. එකී රීති මාලාවේ හයවැන්න ගැන ඔහු කියන්නේ මෙපරිදිය. ”Put your brain into gear before opening your mouth”. ප්‍රේමසර ද රිචී කියු ලෙස ම, පාසැල් බිග් මැච් දිනෙක සීමා ඉරෙන් එපිට තාවකාලිකව ඇටවූ අට්ටාලයක සිටියද, ක්‍රිකට් මහගෙදර වූ ලෝඩ්ස්ඩීහි සුවපහසු ක්‍රීඩා විස්තර අසුනක අසුන්ගතව සිටියේ වුවද, තම වදන් ප්රාතිහාර්යය පෑ, හැමවිටම එකී වදන් පිළිබඳ මනා සතියෙන් පසු තැනැත්තෙකි. එබැවින් ඔහුට වැරදුණු තැන් දුලබය. බැබලීම නම් එලෙසමය.
ගෝර්ඩ්න් ග්‍රිනිජ් හා ඩෙස්මන්ඩ් හේයින්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව ආරක් සැදූ ආරම්භක පිතිකරු යුගලය වන්නා සේම කළු -සනත් යුගලය වේග රිද්මයේ ක්‍රිකට් ක්‍රීඩාවට නව අනුප්‍රාණයක් එක්කළ ආරම්භක පිතිකරු යුගලයයි. එලෙස ම එක ගමට එකක් බැගින් වූ කළුසුදු රූපවාහිණියක් හා එක ගමකට කිහිපයක් බැගින් වූ ”යුනික්” රේඩියෝ පමණක් තිබූ සමයක ප්‍රේමසර – පාලිත ගුවන සිසාරා අප ඇමතු විලාශය ඔබට මතකද? පෙරකී ක්‍රිකට් තරු කැරිෂ්මාව ද අභිබවන මට්ටමේ තරු ගුණයක් මේ විස්තර කථකයන් දෙදෙනා සතුව එකල පැවති බව මතු පරපුරේ දැනගැන්ම උදෙසා සටහන් කොට තැබීම සොබනේය.
පෙම්සර මතකය..
අවසන, අප හිතවත් අතුල වෙදමෙස්ත්රී ප්‍රේමසර ගැන දිගු ආඛ්යායනක් සටහන් කොට ඇත්තේය. ප්‍රේමසර දැකුම් හා විකුම් නොපටුය. ආදර්ශමත්ය. එහෙයින් ඔහු ගැන ලිවීම ද ප්රමාණිකයෙකුගේ දෑතින් සිදුවිය යුත්තක්ය. අතුල ඊට සුදුසය. අතුලගේ බස සජීවී හා සරු එකකි. ඒ ඔහු දිගුකලක් අභ්‍යාස කළ පුවත්පත් ලේඛනයේ බුහුටි කමයි. අතුලගේ වදනින් සරසා ඇති පෙම්සර මතකය ඔහුට අභිනන්දනයකි.
දැන් හමාර කියන වෙලාවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය පාදක කරගනිමින් එම්.සී.සී. දේශණ මාලාවේ කොලින් කවුඩ්රි අනුස්මරණ දේශණය වසර 2011 දී පවත්වන ලද්දේ කුමාර් සංගක්කාරයි. ඔහු එහිදී මෙසේ කියන්නේය.
සාමූහික ලාලසාවකි..
”Cricket in Sri Lanka is no longer just a sport. It is a shared passion that is a source of fun and a force for unity. It is a treasured sport that occupies a celebrated place in our society”. ක්‍රිකට් යනු දිනුවද -පැරදුනද අප ලාලසාත්මකව ඇලීගැලී සිටින ක්‍රීඩාවයි. සංගක්කාර කියන ලෙසම එය තවදුරටත් හුදු ක්‍රීඩාවක් පමණක් නොවේ. විනෝදය හා එක්සත්බව ජනිත කරන්නා වූ සියළුදෙනා බෙදාහදා ගන්නා සාමූහික ලාලසාවකි. ක්‍රිකට් මහාර්ඝ ක්‍රීඩාවක් සේ අප දිවයින උත්කර්ෂවත් බිමක් බවට පරිවර්තනය කොට ඇත්තේය. සංගක්කාර එලෙස විචිත්‍රවත්ව පැවසූ වදන් මාලාවට මාද යමක් එක් කරන්නෙමි. එනම් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ක්‍රීඩක ක්‍රීඩිකා පරපුරට සමගාමීව ක්‍රීඩාගාරයෙන් පරිබාහිරව අසීමිත බුහුමනට, හා ජනාදරයට පත්, දිගුකල් මතකයේ රැඳුණු වෙසෙස් ශ්‍රී ලාංකිකයා ප්‍රේමසර ඈපාසිංහය.
ඔහුගේ කොමෙන්ටරිය සාහිත්‍යය ද, භූගෝලය ද, ඉතිහාසය ද එකට කලතා පෙරා රස නුසුන් කොට අප දෙසවන් පිනවන රසවත් වදන් ගුලාවකි. එය බ්‍රයන් ලාරාගේ ෆ්ලික් කිරීමක් සේම, අරවින්දගේ හුක් පහරක් හා සම වින්දනීය අත්දැකීමකි.