දේශ බන්දු නැතිවම බැරිද?

දේශ බන්දු නැතිවම බැරිද?

දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පතිකම වෙනුවෙන් උසාවියේ පෙනී සිටින  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසන්නේ මේ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කළහොත් ජනාධිපතිවරණය පැවැත්වීම දුෂ්කර විය හැකි බවයි.

ඒ තර්කයට අනුව දේශ බන්දු තෙන්නකෝන් නැතුවම බැරි කෙනෙකි.

ජනාධිපතිවරණයට පමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් දේශබන්දු තෙන්නකෝන් නැතිවම බැරි පුද්ගලයෙක් බවට පත් වූයේ කෙසේදැයි සලකා බැලිය යුතු කරුණකි.

පුද්ගලයෙක් කෲර ලෙස හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු අයෙක් පොලිසියට නායකත්වය දෙන පළමු අවස්ථාව මෙයයි.

මේ තත්ත්වය ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයකට ගැටලුවක් නොවීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වෙන නීති තර්ක කවර ලෙසකින් සලකා බැලුවද අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයෙක් පොලිස්පති තනතුරට පත් වූයේ කෙසේද යන උභතෝකෝටිකය අහවර වන්නේ නැත.

ව්‍යවස්ථාදායක සභා කඩුල්ල

මේ සම්බන්ධයෙන් වඩාත් බැරෑරුම් කරුණ වන්නේ දේශ බන්දු ව්‍යවස්ථාදායක සභා කඩුල්ල පැන ගත්තේ කෙසේද යන්නයි.

ව්‍යවස්ථා දායක සභාවේ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් හට මානව හිමිකම් උල්ලංඝනය කළ පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මතයක් තිබුණේ නැත.

මානුෂීය ගුණාංග

කථානායකවරයාටද මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැටලුවක් වුනේ නැත.

උසාවියේදී හෙළිදරව් කරුණට අනුව මේ වන විට දේශ බන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත් වූ පොලිස් කොමිසම ඔහුව චෝදනා සම්බන්ධයෙන් නිදහස් කොට ඇත.

මෙවැනි පරීක්ෂණය පවත්වා ඇත්තේ පරිපාලන සේවා නිලධාරින් බව උසාවි හෙළිදරව් විය.

ඒ අනුව මේ රටේ සිවිල් නිලධාරීන්ටත් තෙන්නකෝන්ගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන පොලිස් ප්‍රධානියාට පැවරී ඇති රාජකාරියට පටහැනිව සහ ඒවා කඩකරමින් ක්‍රියා කළ අයෙකුට වඩා මූලික මානව හිමිකම් ගැන දැනුමක් ඇති, මානුෂීය ගුණාංග ඇති පුද්ගලයෙකුට එම තනතුර ලබාදිය යුතු බව පෙත්සම්කරුවන් පවසන දේ සම්බන්ධයෙන් තීරණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ යේ වගකීම වනු ඇත.

Related Articles