දේශබන්දු තබා ගැනීමට රනිල්ට බලපෑම්

දේශබන්දු තබා ගැනීමට රනිල්ට බලපෑම්

දේශබන්දු තෙන්නකෝන් දිගටම පොලිස්පති තනතුරේ තබා ගැනීම සඳහා ඔහු වෙනුවෙන් තර්ක කරන පිරිස් පෙන්වාදී ඇත්තේ මේ අවස්ථාවේදී ඔහු ඉවත් කිරීම දේශපාලන පරාජයක් විය හැකි බවයි.

ජනතා පරමාධිපත්‍යයේ මර්මස්ථාන වන විධයකය සහ ව්‍යවස්ථාදායකය මේ මොහොතේ පවතින නිශ්චිත තත්වයෙන් සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් පෙත්සම් අසා නිමවතුරු දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති තනතුරේ වැඩ කටයුතු කරගෙන යෑමට ඉඩදියයුතු බව මේ පිරිස් තර්ක කරති.ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය දින දෙකක් ඇතුලත ප්‍රකාශයට පත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුඅල ගුණවර්ධන පැවසුවේය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් නියමිතය .

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ “වාරණ නියෝගයක් පමණක්” බවත් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවත් දේශබන්දුගේ පැවැත්මට පක්ෂව නැගෙන තර්කයකි .

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති බැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තබන්නට උත්සාහ කරන්නේ නම් උසාවියට අපහාස කිරීම යටතේ පියවර ගත හැකිද යන්න පිළිබඳව කතිකාවක් ඇතිවී තිබේ.

මාස තුනහමාරකින් පසු පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේය.
එම නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට බැරි නිසා පොලිස්පති දිගටම තනතුරේ තබාගන්නට රජය තීරණය කර තිබෙන අතර මේ හේතුවෙන් විධායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වන පසුබිමක් මතුව තිබේ.

ජනාධිපති නියෝගයකින් දේශබන්දු තෙන්නකොන් දිගටම තනතුරේ තබා ගතහොත් එය උසාවියට අපහාසයක් නොවන බව තර්ක කරන පිරිස පවසන්නේ විධායක ජනාධිපති වරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි.

දේශබන්දු තෙන්නකෝන් සුපුරුදු ලෙස පොලිස් මුලස්ථානයේ සිට රාජකාරි කරමින් සිටී.

Related Articles