දේශබන්දු අතුරු තහනමට හේතු වූ තර්ක

දේශබන්දු අතුරු තහනමට හේතු වූ තර්ක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අද (24) නිකුත් කළේය.


මෙම නඩුවේදී පෙත්සම්කරුවන් ඉතා ප්‍රබල නඩු නිමිත්තක් ඉදිරිපත් කොට ඇති බව විනිසුරු
යසන්ත කෝදාගොඩ පැවසුවේය .

මේ සඳහා පෙත්සම්කරුවන් ගේ නීතිවේදීන් ප්‍රබල තර්ක ඉදිරිපත් කළ බව විචාරකයින් පෙන්වාදෙති

ගාලු‍ මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා දැනුම් දුන් දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබාගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේය.

එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිවරයාට අදාළ තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙන්වා දුන්නේය.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත්කිරීම මගින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.

.

මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර තීන්දුවක් ලබාදෙන තෙක් දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස කටයුතු කිරීම වලකන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

‘පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පොලිස්පතිවරයා බව පෙත්සම්කරුවෝ පවසති. පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් ආඥාපනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු නීතියට අනුව විවිධ රාජකාරි සහ කාර්යයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ. එබැවින් පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානියා අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලිය සහ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමට සමත් නොකැළැල් චරිතයක් ඇති පුද්ගලයකු වීම අවශ්‍ය වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කිහිපයකදීම පොලිසියේ දිගුකාලීන ආයතනික අසාර්ථකත්වය සහ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසයේ ඌනතාව හඳුනාගෙන ඇත. එබැවින් නිර්දෝෂී වාර්තාවක් සහ ස්ථාවරයක් ඇති පුද්ගලයෙකු එවැනි ඉහළ තනතුරකට පත්කිරීම අත්‍යවශ්‍ය වේ.

විනිසුරු යසන්ත කෝදාගොඩ

පොලිස් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් සහ උසස්වීම් කාර්ය පටිපාටිය අනුව පත්වීම් සහ උසස්වීම් සඳහා නොකැළැල් චරිතයක් අවශ්‍ය බව පෙත්සම්කරුවෝ පවසති. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තහවුරු වී ඇති අය ඇතුළු ඔවුන්ගේ හැසිරීමේ කැළැල් ඇති පුද්ගලයින්ට ශ්‍රී ලංකා පොලිසියේ උසස්වීම් අහිමි කර ඇති බව පෙත්සම්කරුවෝ දනිති.

ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පොලිස්පති කාර්යාලයට පුද්ගලයකු නම් කිරීමේදී සහ පත්කිරීමේදී කැළලක් නැති, නොකැළැල් පුද්ගලයකු නම් කරන බවට සහතික වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පැවරෙන වගකීමක් බව පෙත්සම්කරුවෝ පවසති. එවැනි ඉහළ තනතුරකට හැකි හොඳම පුද්ගලයා පත්කිරීම සහතික කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත වගකීමක් පවතින බවත්, එවැනි නම් කිරීම සහ පත්කිරීමේදී අදාළ නිලධාරියාගේ කුසලතා සහ දෝෂ පිළිබඳ තක්සේරුවක් ඇතුළත් විය යුතු බවත් පෙත්සම්කරුවෝ පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමේ අරමුණක් වූයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදී විධායක ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරීක්ෂාවක් ලෙස ක්‍රියා කිරීමට ආයතනයක් හඳුන්වා දීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගෙන් ස්වාධීනව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන අතර 2023 ජනවාරි 25 වැනි දින පැවති එහි පළමු රැස්වීමේදී ‘ස්වාධීන, වගවීම සහ විනිවිදභාවයෙන් යුතුව සභාවේ රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීමට ඒකමතිකව එකඟ වූ‘ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිවේදනය කරන ලදී.


පෙත්සම්කරුවන් පවසන්නේ අනුමත කිරීමේ ක්‍රියාවට හුදෙක් යම් පුද්ගලයකුට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය බවයි.

ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යතාවයෙන් අදහස් වන්නේ එය ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් ලෙස ක්‍රියා නොකළ යුතු බවත්, යෝග්‍යතාවය පිළිබඳ තක්සේරුවකින් පසු පත්වීම අනුමත කරන ආයතනයක් විය යුතු බවත් පෙත්සම්කරුවෝ පවසති.එහෙත් එසේ සිදුවී නැත .

පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොමැත.

දේශබන්දු තෙන්නකෝන්  පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නීතියෙන් නියම කළ පරිදි ලැබී නොමැති බවට 3 වැනි වගඋත්තරකරු (සජිත් ප්‍රේමදාස) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ බව පෙත්සම්කරුවෝ පවසති.

ජනාධිපති හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දේශබන්දු තෙන්නකෝන් පත් කරද්දී කිසිඳු තක්සේරුවක් හෝ ඇගයීමේ ක්‍රියාවලියක නිරත වී නොමැති බව පෙත්සම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති බරපතළ නිගමන සහ ඔහු එම තනතුර දැරීමට නුසුදුසු බවට පත් කෙරෙන වෙනත් චෝදනා සලකා බැලීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපොහොසත් වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

දේශබන්දු තෙන්නකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා නොවේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරන ලෙස නිර්දේශ කර ඇත්තේ ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට බුද්ධි අංශ වාර්තා තිබියදීත් ප්‍රහාරයක් වැලැක්වීමට තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙනි;

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ගයක් අරඹා නොමැති බව පෙත්සම්කරුවෝ විශ්වාස කරති.

2022 මැයි 09 වැනි දින ගොඨාගෝගම උද්ඝෝෂණ භූමියේදී සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී,දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයන් සිදුවන ආකාරය දෙස බලා සිටිනු දක්නට ලැබුණු අතර, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිලය දරමින් සිටි වගඋත්තරකරු තම රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් විය.

මැයි 9 වැනි දින සිදුවීම්වලට අදාළ වැරදි සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා ගොනුකිරීමට තීරණයක් ගත් බව පෙත්සම්කරුවෝ දනිති. එකී තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ලබාගෙන ඇති අතර, එම තීන්දුවට එරෙහිව නීතිපති ශ්‍රෙෂ්ඨාධ්කරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

දේශබන්දු⁣ තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් 2023 දෙසැම්බර් 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙමින් රුපියල් 500,000ක වන්දියක් ගෙවීමට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය එකී තීන්දුවේ සඳහන් කර ඇත්තේ දේශබන්දු⁣ තෙන්නකෝන් ඇතුළු පිරිස කටයුතු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක ගුණධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන ආකාරයටය බවයි.

සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී 10 වැනි වගඋත්තරකරු සම්බන්ධයෙන් 1 වැනි පෙත්සම්කරු (තරිඳු ජයවර්ධන) ප්‍රශ්න ඇසූ විට දේශබන්දු තෙන්නකෝන් ෆේස්බුක් හි පළ වූ සටහනක් මත පළමු පෙත්සම්කරුට තර්ජනය කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම සඳහා නම් කිරීම සහ අනුමත කිරීම නීතිවිරෝධී, අතාර්කික, අත්තනෝමතික, නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කරමින්, ව්‍යවස්ථාවේ වගන්ති සැලකිල්ලට නොගෙන සිදු කර ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ(4) ව්‍යවස්ථාව යටතේ ඕනෑම තීරණයක් හෝ අනුමැතියක් වලංගු වීමට නම් ඡන්ද පහක් අවශ්‍ය බව පෙත්සම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානයක ට, ඡන්දයක් නැත. ඔහුට තීරක ඡන්දයක් ඇති අතර, එය භාවිත කළ හැක්කේ ඡන්ද සමාන වුවහොත් පමණි. සමානාත්මතාව නැති තැන කතානායකවරයාට තීරක ඡන්දය භාවිත කිරීමට අයිතියක් නැත.

10 වැනි වගඋත්තරකරු පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය සලකා බැලීම සඳහා 2024 පෙබරවාරි 26 වැනි දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී පක්ෂව ඡන්ද 04ක් සහ විරුද්ධව ඡන්ද 02ක් පමණක් ප්‍රකාශ වූ බව පෙත්සම්කරුවෝ පවසති. සාමාජිකයෝ දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

රැස්වීම අවසන් වීමෙන් පසු පළමු වගඋත්තරකරු (කතානායක සහ සභාපති) විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එහි ප්‍රතිඵලය දන්වා ඇති බවත්, ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටි දෙදෙනා විරුද්ධව ඡන්දය භාවිත කළා යැයි සලකන්නේ නම් එවිට විරුද්ධව සහ පක්ෂව ඡන්ද සමාන වන බැවින් තම ඡන්දය ද පක්ෂව ලබා දෙන බවට සලකන ලෙස ඇතුළත් වී තිබේ.

ඡන්ද සමානාත්මතාවක් නොතිබූ බවත් එම නිසා සභාපති කථානයක  වැනි වගඋත්තරකරු විසින් තීරක ඡන්දය භාවිත කිරීම නීත්‍යානුකූල නොවන බවත් පෙත්සම්කරුවෝ පවසති. එම තත්ත්වය තුළ සභාපතිවරයාගේ තීරක ඡන්දය භාවිත කිරීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ය.

එසේ හෙයින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස නම් කිරීම, අනුමත කිරීම සහ පත්කිරීම,
නීති විරෝධී;
හිතුවක්කාර;
අතාර්කික; සහ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනිව සහ උල්ලංඝනය කරමින්;
අදාළ සියලු‍ම කාරණා සැලකිල්ලට නොගෙන
කරන ලද පත්කිරීමකි.

Related Articles