දිගම දිග ජනාධිපති අපේක්ෂක පෝලිම

දිගම දිග ජනාධිපති අපේක්ෂක පෝලිම

ජනපති අපේක්ෂකයන් වැඩි වීම රටට බරක්ද ?

මෑතකාලීන ජනාධිපතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ යාම සමාජ කතාබහකට ලක්ව තිබේ.

Presidential Election Candidates - 2024

පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා රු.50,000ක ඇප මුදලක් ද, ස්වාධීන හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් රු.75,000ක ඇප මුදලක් ද මැතිවරණ කොමිෂන් සභාවේ තැන්පත් කළ යුතු ය.

අපේක්ෂක උනන්දුව

ක්‍රමයෙන් වැඩිවන අපේක්ෂක උනන්දුව
ජනාධිපති අපේක්ෂකයන් සයදෙනෙකුගෙන් සමන්විතව පැවති 1982 පළමු ජනාධිපතිවරණයෙන් පසුව පැවති 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ අපේක්ෂකයන් තිදෙනෙකු පමණි.

එය අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාවකින් මෙරට පැවති ජනාධිපතිවරණයයි. එතෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් පමණක් අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් 1994 පැවති ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබුණි.

1999 හා 2005 ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත්ව තිබූයේ අපේක්ෂකයන් 13 බැගින් ය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහල යන්නේ 2010 ජනාධිපතිවරණයේදීයි.

එම ජනාධිපතිවරණයේ දී තරග කළ අපේක්ෂකයන් සංඛ්‍යාව 22කි. එය 2015 දී 19කට අඩු වූ නමුත් 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙකු තරඟ කළ හ.

මෙවර 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ අතර අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙන ලදි. එම නාමයෝජනා 39 ම මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් පිළිගන්නා ලදි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක් තරගවදී.

අඩි දෙකක් දිගු වූ ඡන්ද පත්‍රිකාව

 


2019 වසරේ විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වීමත් සමඟ මෙතෙක් ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කෙරුණේ එම වසරේදී ය.

ඡන්ද පත්‍රිකාව අඟල් 24කට වඩා දිගු වූ අතර, ඒ අනුව අඩි දෙකක පමණ දීර්ඝ ඡන්ද පත්‍රිකාවක සිය ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයන් හට සිදුවිය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටිනා බැවින්, ඡන්ද පත්‍රිකාව තනි තීරු ආකෘතියකින් නිර්මාණය කරන්නේනම්, එය අඟල් 27ක් දිග සහ අඟල් පහක් පළලින් යුත් දිගම ඡන්ද පත්‍රිකාව වනු ඇ‍ති බව වාර්තා වේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයක් පැවසුවේ එය තනි තීරුවක් ද ද්විත්ව තීරුවක් ද යන්න තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසම බවයි.

එම මූලාශ්‍රයට අනුව ද්විත්ව තීරු ඡන්ද පත්‍රිකාවක් නම් එම ඡන්ද පත්‍රිකාව දිග අඟල් 13.5ක් පළලින් යුක්ත වේ.

 

ඡන්ද පත්‍රිකාව දිගු වීමත් සමඟ ඇතැම් දේශපාලන පක්ෂ සිය ඡන්ද සලකුණට අමතරව, සිය අපේක්ෂකයාගේ නම තිබෙන්නේ ඡන්ද පත්‍රිකාවේ කීවැනියාටදැයි යන්න පවා ප්‍රචාරණය කරන ලදි.

අපේක්ෂකයන් 35 දෙනෙකු එක් වූ එම ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවටත් වඩා 2024 ජනාධිපතිවරණ පත්‍රිකාව දීර්ඝ විය හැකිය.

2019 ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමිසම ඝණ කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි යොදා ගන්නා ලදි.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය විශාල වන ආකාරය අනුව එක් ඡන්ද පෙට්ටියක් සඳහා දැමිය හැකි ඡන්ද පත්‍රිකා ප්‍රමාණය සීමා වීම හේතුවෙන් ඒ සඳහා වෙනත් හදිසි විකල්පයක් සැලසීමට 2019 දී මැතිවරණ කොමිසමට සිදු විය.

මෙම අවශ්‍යතාවය වෙනුවෙන් ඝණ කාඩ්බෝඩ් වලින් සාදන ලද ඡන්ද පෙට්ටි ඉතා ඉක්මනින් ම මැතිවරණ කොමිසම විසින් සූදානම් කරගන්නා ලදි.

එක් එක් ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව අනුව ලබා දුන් ඡන්ද පෙට්ටියේ විශාලත්වය වෙනස් විය.

මෙලෙස කාඩ්බෝඩ් පෙට්ටි සකස් කිරීමට මැතිවරණ කොමිසමට අමතර වියදමක් දැරීමට සිදු වූ අතර, ඒවා ප්‍රවාහනය සඳහා ද අමතර වියදමක් දැරීමට සිදු විය.

කඩදාසි සහ මුද්‍රණය සඳහා වන වියදම
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය විශාල වනවාත් සමඟ ම කඩදාසි සහ මුද්‍රණය සඳහා වන වියදම පැහැදිලිව ම ඉහළ යයි.එසේම අපේක්ෂකයන් වැඩිවීමෙන් ඡන්ද ක්‍රියාවලියේ සංකීර්ණභාවය ඉහළ යා හැකිය.

2019 වසරේ සිදු වූ ආකාරයට ම මෙවර ද මැතිවරණ කොමිසම සතු ලී ඡන්ද පෙට්ටිවලට අමතර ව ඡන්ද පෙට්ටි සැපයීමට සිදුවීමට ඉඩ ඇති නිසා ඒ සඳහා ද අමතර වියදමක් දැරීමට මැතිවරණ කොමිසමට සිදු වනු ඇත.

ඡන්ද පෙට්ටි ප්‍රමාණය වැඩි වීම නිසා ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමටත්, ඒවායේ ආරක්ෂාව සඳහා යොදන නිලධාරීන් ප්‍රමාණයත් වැඩි කිරීමට සිදුවන අතර, ඡන්ද ගණන් කිරීම සඳහා ද විශාල කාලයක් ගත විය හැකි ය.

ඡන්දදායකයෙකු විසින් ඡන්දය සලකුණු කර කිහිපවරක් නවා ඡන්ද පෙට්ටිය තුළට දමන දීර්ඝ ඡන්ද පත්‍රිකාව නැවත දිගහැර අවම වශයෙන් තෙවරක් ගණන් කිරීමට නිලධාරීන්ට සිදුවේ.

කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක ප්‍රතිශතයක් ඉක්මවා ඡන්ද ලබා නොගතහොත් නැවත දෙවන හා තුන්වන මනාප ගණන් කිරීමට ද නිලධාරීන්හට සිදුවනු ඇත.

Ballot papers delivered to EC | Daily News

බිලියන 10ක්

2024 ජනාධිපතිවරණය සඳහා රු. බිලියන 10ක් වෙන් කර තිබේ.

විශේෂයෙන් ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම කිහිප ගුණයකින් ම වැඩි වී තිබේ.

2019ට වඩා අපේක්ෂකය්න් ද 2024 දී වැඩි වී තිබීමත් නිසා මෙම මුද්‍රණ වියදම් තවත් කිහිප ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ගාස්තු ගෙවීමකින් තොරව නීතියේ දක්වා ඇති සීමාවන්ට යටත්ව ශ්‍රී ලංකා රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට එක් එක් අපේක්ෂකයාට කාලයක් හිමි වේ.

ජනාධිපති අපේක්ෂකයන්ට ජනාධිපතිවරණ කාලසීමාවේ දී ආරක්ෂාව ලබා දීමට ද සිදුවේ.

ඇප මුදල් වැඩි කිරීම විසඳුමක් වේවි ද?
අපේක්ෂකත්වය සඳහා තැන්පත් කරන ඇප මුදල් ප්‍රමාණය අඩුවීම මෙලෙස අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණයට තරග කිරීමට හේතුව බව බොහෝ පාර්ශවයන්ගේ මතයයි.

වර්තමානයේ පවතින ඇප මුදල 1981 දී තීරණය කළ අගයකි. දශක හතරකට පෙර ගනු ලැබූ එම තීරණය වර්තමානයේ රුපියල අවප්‍රමාණ වීම ඇතුළු බොහෝ හේතු නිසා සංශෝධනය විය යුතු බවට අදහස් ඉදිරිපත් වී තිබේ.

මීටපෙර මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ නමුත් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් සංශෝධනයක් සිදුවූයේ නැත.

Related Articles