ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක ඇතුළු කණ්ඩායමට නිදහසින් අනතුරුව ප්‍රධාන කාර්ය දෙකක් පැවරී තිබිණ.
පළමුවැන්න නව ජාතික රාජ්‍යයකට උචිත දේශපාලන රාමුවක් ගොඩ නගා ගැනීමයි .
දෙවැන්න රටට ගැලපෙන ආර්ථික වැඩ පිළිවෙලක් සකස් කර ගැනීමයි.
ජාතික රාජ්‍ය ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙල බෙහෙවින්ම දුර්වල බව කීමට ඕනෑ තරම් සාක්ෂි ඇත . දශක ගණනාවක් තිස්සේ ඇදුනු වාර්ගික යුද්ධය ,තරුණ කැරලි මෙන්ම ජන මතය නියෝජනය නොකරන පාර්ලිමේන්තුවේ මූල හේතු විමසන විට නව ජාතික රාජ්‍යයකට උචිත දේශපාලන රාමුවක් ගොඩ නගා ගැනීමට නොහැකිවීම ඉස්මතුවෙයි.
සේනානායකගේ රජය විසින් 1948 දී බොහෝ වතු දෙමළ ජනතාවට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීම දුෂ්කර කළ නීති සම්පාදනය කරන ලදී. නිදහසේ කාලය තුළ සුළුතර අයිතීන් කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා සිංහල සහ දෙමළ ජනතාව අතර අනාගත වාර්ගික ආතතීන් සඳහා පදනම සකස් කරන ලද අතර එය අවසානයේ කුරිරු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ බවට නැගෙන චෝදනා පහසුවෙන් බැහැර කළ නොහැක.
විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය මෙහෙයවූ ගාන්ධි සහ ජවර්ලහල් නේරු සතුව තිබු දුර දක්නා දැක්ම ඩී . එස් . සේනානායක ඇතුළු නායකයින්ට තිබුනේද යන ප්‍රශ්නය මතුවේ.
වී වගාව මුල් කරගත් ජනපදකරණය
ආර්ථික මාදිලිය පිළිබඳව කටයුතු කිරීමේ දී ඩී.එස්. සේනානායක ගේ සාධනීය මැදිහත්වීමක් ලෙසින් වී වගාව මුල් කරගත් ජනපද කරණය හඳුනා ගත හැකිය
යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාවේ කෝපි, තේ, රබර් වලින් එහා ගිය කෘෂි ආර්ථිකයක අවශ්‍යතාව හඳුනාගත් රටේ පළමු අගමැතිවරයාවූ ඩී.එස්. සේනානායක මහතාගේ දැක්මවූයේ සහලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ අත්තිවාරම දැමීම බව පිළිගත හැක. එම ඉලක්කය සපුරාලීම උදෙසා ඔහු සාධණීය ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළේය. වී වගාවෙන් යැපෙන ගොවියාට අභිමානවත් ලෙස ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ඔහු පැවසුවේය .
නමුත්, අද ශ්‍රී ලංකාවේ ගොවීහු තවමත් තම අස්වැන්න අවශ්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකිව දිනෙන් දින ණයබරින් මිරිකෙමින් ජීවත් වෙති. එසේවූයේ ඇයි? සේනානායක වගා සැලැස්මේ තීරණාත්මක බීජයක් මග හැරී ගියේද, නැතහොත් බාහිර බලවේග විසින් අස්වැන්න යටපත් කර ගෙන සිටින්නේද? වැරදුණේ කොතැනකද? වැරදුනේ කුමක්ද?
දිවයින පුරා වී වගාවේ නිරත ගොවි පවුල් සංඛ්‍යාව ලක්ෂ 18ක් පමණ වේ. වාර්ෂිකව දළ වශයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.45 ක් පමණ නිෂ්පාදනය කෙරෙන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත තත්වයක් සේ සැලකේ.
නිරන්තර අර්බුදයක්
නමුත්, 2022 දී නිෂ්පාදනය පහත වැටීම නිසා ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමට පවා සිදුවිය. එසේම වරින් වර සහල් ආනයනය කල අවස්ථාද අසන්නට ලැබිණි. එහෙත් යලි 2023 දී සහල් අතිරික්තයක් පවා අත්කරගැනීමට හැකිවූ බවටද වාර්තා විය. සංඛ්‍යා හා දත්ත එසේ පෙන්වාදුන්නත් ගොවියන්ගේ දරිද්‍රතාව සහ ණය නිරන්තර අර්බුදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ප්‍රමාණවත් තරම් සහල් නිෂ්පාදනය කළද ගොවීන්ට ප්‍රතිලාභ නොලැබෙන බව ඔවුහු කියා සිටිති. පොහොර, කෘෂි රසායන සහ කෘමි නාශක මෙන්ම යන්ත්‍ර සුත්‍ර ගෙවීම් ඇතුළු වී වගාවේ සියලු කටයුතු සඳහා ගොවියාට අද විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ. විශේෂයෙන්ම අස්වැන්න නෙළන කාලයට තමන්ට නිසි ලෙස වී වේලා තබා ගැනීමට පවා නොහැකිවන්නේ, තෙත් වී අඩු මිලකට හෝ විකුණා තම ණය බේරා ගැනීම සිදුව ඇති නිසා යැයි ඔවුහු මාධ්‍යයට අදහස් දක්වමින් පවසති. මේ නිසා ජීවත්වීම සඳහා ඉතිරිවන්නේ සුළු මුදලක් බවයි ඔවුන් පවසන්නේ.
ගොවීන්ට සහල් සඳහා සාධාරණ මිලක් නොලැබෙන්නේ අයි? සහල් සඳහා රජය විසින් නියම කරන ලද මිල ගණන් සැබෑ නිෂ්පාදන පිරිවැය පිළිබිඹු නොකරන බව ට ගොවීන් ඉදිරිපත්කරන තර්කයක්. එසේම රජය සතුව නිසි කළමනාකාරීත්වයක් සහ සැලැස්මක් නොමැතිකම හේතුවෙන් අලෙවිකරණ කටයුතු අක්‍රමවත් බවත්, සුදුසු කලට අස්වනු විකුණා ගැනීමට නොහැකිවන බවත් ගොවීන් නගන බරපතල චෝදනාවක්. බෙදාහරින්නන් ලෙස ක්‍රියා කරන අතරමැදියන්ට ලාභයෙන් විශාල කප්පාදුවක් ගත හැකි අතර එමඟින් ගොවීන්ට අඩු මුදලක් ඉතිරි වේ. වී ගොවීන් සීමිත සම්පත් සහිත කුඩා පරිමාණ නිෂ්පාදකයින් වේ.
අතරමැදියන්ට වී අලෙවි කිරීම
විශේෂයෙන්ම වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනයක, ක්‍රමවත් හා කාර්යක්ෂම, ඍජු මැදිහත්වීමක් නොමැතිව මෝල් හිමියන්ට හෝ අතරමැදියන්ට වී අලෙවි කිරීම හැර ඔවුනට වෙනත් විකල්පයක් නැත. වී නරක් වීම වළක්වා ගැනීම සඳහා අස්වැන්නෙන් පසු ඉක්මනින් වී අලෙවි කළ යුතුය. ගොවීන්ට වඩා හොඳ මිලක් ලැබෙන තුරු තම අස්වැන්න රඳවා ගැනීමට හැකිවන්නේ නැත.
අහයපත් කාලගුණික තත්වයන්ටද මේ අතර ගොවියාට මුහුණ දීමට සිදුවෙයි. මේ නිසා තමන් ඉදිරියේ වෙනත් විකල්පයක් නොමැතිකම හමුවේ, සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන වෙළෙඳ පොල මාෆියාවට ගොදුරු වන බව ගොවීහු මාධ්‍යය ඔස්සේ ප්‍රකාශ කරති. මීට අමතරව සමහර ප්‍රදේශවල ගොවි ජනතාවට නිරන්තර වල් අලි උවදුරටද මුහුණදීමට සිදුව තිබේ,
ඩී.එස්. සේනානායක මහතාගේ කෘෂිකාර්මික සැලසුම්වල අඩුපාඩු දක්නට ලැබුනත්, ශ්‍රී ලංකාව අද කෘෂි කර්මාන්තය මුහුණ දෙන ගැටලුවලට ඒවා ඍජුවම බලපා ඇතැයි විශ්වාස කිරීමට හැකියාවක් නොමැත. සේනානායක කෘෂිකාර්මික සැලසුම් සහල් ස්වයංපෝෂිතභාවය කෙරෙහි දැඩි ලෙස අවධාරණය කරනු ලැබූ එකක් විය.
මේ නිසා අනෙකුත් වැදගත් භෝග ගැන සැලකිල්ලක් නොදක්වා ඇති අතර භෝග විවිධාංගීකරණයද නොසලකා හැර ඇති බව පෙනේ.
ක්‍රියාකාරී සැලැස්මක්
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඔහුට ක්‍රියාකාරී සැලැස්මක් තිබිණ. රට ස්වයංපෝෂිත කිරීම සඳහා එවකට කළ හැකි දේ ඔහු කළේය. 1933 වසරේදී ඉඩම් සංවර්ධන පනත ගෙනආ සේනානායක මහතා විසින් පළමුවැනි ගොවි ජනපද ව්‍යාපාරයවූ මින්නේරිය ගොවි ජනපදය ආරම්භ කරන ලදී. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, 1948 දී ඇරඹි ගල් ඔය ව්‍යාපාරය බහුකාර්ය ව්‍යාපෘතියකි. ඊට සමානව ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස මහවැලි ව්‍යාපාරය හැඳින්විය හැක. නමුත් ඊළඟ පරම්පරාවේ නායකයින්ට එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබේ.
ආහාර සුරක්ෂිතතාව
ජාතික ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ ජාතික වගකීමේ විශාල කාර්යභාරයක් ඉටුකරන වී ගොවියාගේ සුරක්ෂිතතාව සහතික කිරීමට නොහැකිවී තිබීම සේනානායක කෘෂි සැලසුම් මගින් අතහැර දැමුවේද? 1948 නිදහස ලැබීමෙන් පසු ඩී.එස්. සේනානායක අගමැතිවරයා සිය ප්‍රධාන ඉලක්කය කරා ගමන් කර ඇත. එහෙත් ඉන් අනතුරුව පත්වූ සියලු රජයන්ට මේ චෝදනාව එල්ල කල හැක.
ඔහු කෘෂිකාර්මික සංවර්ධනය, සමුපකාර පිහිටුවීම සහ මිනිසුන් නැවත පදිංචි කරවන සහ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉඩම් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළේය. ඉඩම් සංවර්ධනයට අවධානය යොමු කල ඔහු ගල්ඔය ව්‍යාපෘතිය වැනි යෝජනා ක්‍රම මගින් ජනතාව නැවත පදිංචි කර නව ඉඩම් වගා කිරීම ආරම්භ කළේය. ඉඩම් සංවර්ධන ආඥාපනත සහ සමුපකාර ව්‍යාපාරය ගොවීන් දිරි ගැන්වීම සඳහා ගත් උත්සාහයකි. සමස්තයක් ලෙස ඩී.එස්.සේනානායකගේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා ශක්තිමත් පදනමක් දමා ඇති බව පිළිගත යුතුව ඇත.
ජාතියේ පියා වශයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයාවූ ඩී.එස්. සේනානායක මහතා1952 මාර්තු 22 වැනි දා වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත විය. අශ්වාරෝහකයෙකු වූ ඔහු අසු පිටින් වැටී සිදුවූ අනතුරකින් සිදුවූ තුවාල හේතුවෙන් ඛේදජනක ලෙස මිය ගියේය.
විමලසේන හේවගේ