ඥානසාර හිමි ඇප මත මුදා හරි

ඥානසාර හිමි ඇප මත මුදා හරි

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක ප්‍රකාශ කරමින් ආගමික සංහිදියාව උල්ලංඝණය වන ආකාරයට කටයුතු කළේ යැයි චෝදනා දෙකකට වරදකරු වී වසර 4 ක සිර දඬුවම් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුලි 18 වැනිදා) නියෝග කළේය.

සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා අදාළ අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමි විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

විදෙස් ගමන් තහනම්
ඒ අනුව ඥානසාර හිමියන් රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය.

එමෙන්ම උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

Related Articles