ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ”ජාතික තොටිල්ල” වීර කාව්‍ය නිර්මාණය වූ ඉතිහාස කතාව
දේශප්‍රේමී හැගීම් නොඅඩුව ජනිත මනරම් කාව්‍ය සංග්‍රහයක් වූ එස් මහින්ද හිමිපාණන්ගේ” ජාතික තොටිල්ල” නැමැති වීර කාව්‍ය නිර්මාණය සදහා නිමිත්ත ලැබෙන්නේ උන්වහන්සේ මහනුවරට ගිය ගමනකදී ය.
ඔවා මුතු දම කවි පොත රචනයෙන් ග්‍රන්ථ සාහිත්‍යයට පිවිසි උන්වහන්සේ කවි පොත් 29ක් සහ ගද්‍ය පොත් 11ක් ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට දුන් දායකත්වයට ලාංකිකයින් හදවතින්ම ණයගැති විය යුතු ය.
අතීතයේ එක්තරා දිනක අපේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්, භදන්න හිමියන් ,(පසුව මංජු ශ්‍රී බවට පත්විය) පියදාස පලන්සූරිය. එම්. ඊ. ප්‍රකාන්දුත් සමග කොළඹ සිට නුවරට ගොස් දළදා මාළිගාව අසලින් තිබෙන ගන්නොරුව පාර හරහා යමින් සිටියේ යටිහලගල සුමනාරාමයටය.
එදා සවස් වී තිබු හෙයින් පයින්ම යා යුතු මගක් ඔස්සේ ගමන් කළයුතු විය.එසේ ගමන් කරන විට මේ පිරිසට එක්තරා මහාකුඹුරු යායක් මැදින් යායුතුව තිබුණි .එම වෙල්යා ය මැදින් හමන් කරන මොහොතේ නම් බොහෝ සවස් වී තිබුණි
වෙල මැද කමතක වූ පොල් අතු පැලක්
එක දිගටම පෙනෙන මේ වෙල් යායෙහි දක්නට තිබෙන සිරියාවෙන් මහින්ද හිමියන් සිටියේ බෙහෙවින් ම වශීකෘත වීය. මේ අයුරින් නැහැපුඩු වලට සැනසුම් සුවය ගෙනෙන සැදෑ මද නළින් ආශ්වාදජනක හැගීමක් ඇති කර ගනිමින් යන මේ සාහිත්‍යයකාමී පිරිසට දිස්වූයේ වෙල මැද කමතක වූ පොල් අතු පැලක් ය.
මෙම චමත්කාරය දුටු මහින්ද හිමිපාණන් වහන්සේ ඉද්ද ගැසුවාක් මෙන් එක් වරම නතර වූ සේක.
” අපි අද රෑට මේ පැලේ නතර වෙමු.”යැයි උන්වහන්සේ පැවසූහ. කිසි කතාවක් නැතිව සියල්ලෝම එයට එකඟතාවය පළ කළහ. එදා රාත්‍රියේ එම වෙල් යායේ සුන්දරත්වය තවත් අලංකාර වී පෙනෙන කිරි බැබලෙන සඳපානේ එතැන එකම සාහිත්‍ය මණ්ඩපයක් රස ගුහාවක් බවට පෙරළුණි.
මෙවිට මහින්ද හිමියන්ගේ සිතට අමුතුම හැගුමක් ඇති වූවා සේය. උන් වහන්සේ වහා පෑන ද කඩදාසි කිහිපයක් ද බෑගයෙන් ගෙන කවි පංතියක් ලියන්නට පටන් ගත්හ.
” දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ යයි සිරස් තලය ලියැවී ” මුනි සිරිපා සිඹිමින්නේ “යනුවෙන් ඇරඹුණු එයින් අයස්කාන්ත ජාතික වීර කාව්‍යයක උපත සිදුවූණේය. පල්ලේගම කෝලාන ගමේ මෙම ඓතිහාසික පසුබිමින් යුත් වෙල්යායේ දී ජාතික හැඟුමින් ගීතවත් වූ එහිමි හදවතට අපේ ජාතික වීර මුතුන් මිත්තන් සැබෑ ආශිර්වාදාත්මක හැඟීමෙන් යුතුව පවන් සලන්නට ඇතැයි එම ජාතික තොටිල්ල කිය වූ අයට ඉඳුරාම සිතෙනු ඇත .
එම ජාතික වීර කාව්‍යයේ ඉතිරි කොටස පසුවදාම සුමනාරාමයේ දී මහින්ද හිමියන් අතින් ලියවූ බව පැවසේ. මේ ගමනේ එක් අරමුණක් වූයේ ආනන්ද මහා විද්‍යාලයේ උඩරට නැටුම් පන්තියක් ඇරඹීමට ඩී. කේ. ජෝන් නාට්‍ය ගුරුතුමා කැඳවාගෙන ඒමය.එයද ඉටුවිය. පසුව වත්තල වැලිකඩමුල්ලේ වාලුකාරාමාධිපති වූ අතිපූජ්‍ය යටිහලගල සිද්ධාර්ථ පඬිවර හිමියන් බවට පත් වූ දරුවා මහණ කිරීමටද කැඳවාගෙන පැමිණි යේ ද මේ ගමනේදීම බව ද මහින්ද හිමිපාණන් පවසා තිබේ.තවද කේයස්ගේ සුදෝ සුදු කාව්‍ය සංග්‍රහයට පසුව වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ ඇස් මහින්ද හිමිගේ ජාතික තොටිල්ල කාව්‍යය බවද වෙසෙසින් සිහිපත් කරමි.
ගාමිණි ගුණසේකර
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටුකොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹ යි මගේ පුතා උතුම්
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹ යි මගේ පුතා සමත්
කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ