ජාතික  ජන බලවේගයේ ප්‍රතිපත්ති

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති

 

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබීය.


මෙරට සාර්ව ආර්ථික ස්ථායීකරණය උදෙසා ජාතික ජන බලවේගය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු යෝජනා ගණනාවක් එහි සඳහන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහි මෙසේ දක්වා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන

* දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම

* ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ (Revenue based fiscal consolidation) යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම්

* කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම

* ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම DSA)

* රාජ්‍ය මුල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) කඩිනමින් සිදුකිරීම

* රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මුල්‍ය හා මුල්‍ය විනය වැඩි දියුණු කිරීම

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එහි දැක්වෙන යෝජනා පහත පරිදි වේ.

* ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීම

 

* බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම

* දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුහුණුව සහ ධාරිතා සංවර්ධනය කිරීම

* හිඟ බදු කඩිනමින් අය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

* බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම

* රාජ්‍ය සේවා ලබා ගැනීම හා රජය සමග කටයුතු කිරීමට සෑම පුරවැසියෙකුටම නිශ්චිත ඩිජිටල් හඳුනා ගැනීමේ කේතයක් (^Unique Digital Identification code) ලබාදීම

* පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම

* බදු මූලධර්මවලට අනුකූලව බදු පදනම (Tax Base) පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම

* යන්ත්‍රසූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා අඩු කළ හැකි ක්ෂය දීමනාව, 120% දක්වා වැඩි කිරීම මගින් නිෂ්පාදනය දිරිගැන්වීම

* වැට් (VAT) බදු එකතු කිරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා පොයින්ට් ඔෆ් සේල්ස් (POS) යන්ත්‍ර සහ ඩිජිටල් ඉන්වොයිසින් ක්‍රම හඳුන්වාදීම

* දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒම

* වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කොට ඒ ඒ කාණ්ඩය සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දීම

* ආදාන වැට් බද්ද (Input VAT) මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබාදීම

* දැනට ක්‍රියාත්මක අභිමත බදු විගණනය වෙනුවට අවදානම් පාදක බදු විගණනයට මාරු වීම

* බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනු කිරීම, බදුගෙවීම, හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකථන මඟින් ගෙවීමේ පහසුකම්ද සහිත මාර්ග ගත ක්‍රමවේදයක් හඳුන්වා දීම

* ආනයන හා අපනයන වෙළඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කරමින් තනි සේවා කවුළුවක් පිහිටුවීම

* සාධාරණ ලෙස රේගු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා පවතින සංකීර්ණ තීරුබදු අනුපාත ව්‍යුහය සරල කිරීම

* අපනයන ඉපැයීම්වලට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීම හා මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට බලය පැවරෙන පරිදි විදේශ විනිමය පනත සංශෝධනය කිරීම

 

* ආනයන හා අපනයනකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා අඩු පිරිවැය සේවාවන් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ කටයුතු විමධ්‍ය ගත කිරීම

* ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය ක්‍රමය යටතේ (TIEP) අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා පහසුකම් සැලසීම

* ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු මිල (Transfer Pricing) මත සිදුවන බදු කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින්, වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව (AEoI) වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම

* ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව සහ අදාළ මාර්ගෝපදේශ අනුව ජාත්‍යන්තර ගනුදෙනු මත අවම ගෝලීය බද්දක් (Minimal global taxation) පැනවීම

* විද්‍යුත් ප්‍රසම්පාදනය ඇතුළත් ඩිජිටල් පාදක ආණ්ඩුකරණය සහ ශක්තිමත් රාජ්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් මගින් රාජ්‍ය මුල්‍ය කාර්යක්ෂමතාව, විනිවිදභාවය, යහපාලනය සහ වගවීම වැඩි දියුණු කිරීම හා අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම

මූල්‍ය ප්‍රතිපත්ති

* ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආර්ථික කටයුතු යථාතත්වයට පත්කිරීම හා හිඟ ණය සඳහා සහන සැලසීමට නව සහන බැංකුවක් ස්ථාපිත කිරීම
ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන මුල්‍යකරණය, නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යපාර ප්‍රසාරණය කිරීම සඳහා නව ජාතික සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම

* කුඩා පරිමාණයේ ගොවියන්, නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සමුපකාර, සමෘද්ධි හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යක්ෂම ලෙස මෙහෙයවීම

* නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබාදී ඇති ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබඳ සමාලෝචනය කොට අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීම දිරි ගැන්වීම සහ එම කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම

* විදේශ විනිමය වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායී කිරීම

* බැංකු මුදල් සහ ඉතුරුම් නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල විධිමත්ව ආයෝජනය කිරීමට නව මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වා දීම

* රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) ශක්තිමත් කිරීම

* ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය (Recapitalization) කිරීම

(adaderana.lk)

 

Related Articles