ගුවන්විදුලිය: 99න් බේරීමට නම්……..

ගුවන්විදුලිය: 99න් බේරීමට නම්……..

කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ශාස්ත්‍රයේ ප්‍රකාශනයක් වන සන්නිවේදකයා නවතම කලාපය ප්‍රකාශයට පත් වී ඇත.

ආසියාවේ පළමු ගුවන් විදුලි සේවාව වන ලංකා ගුවන්විදුලිය ආරම්භ වූයේ 1925 දීය. එහි ආරම්භක දිනය ලෙස නිල වශයෙන් සලකනු ලබන්නේ දෙසැම්බර් 16 වන දිනයි. එය මෙරට ගුවන් විදුලි දිනය ලෙස සැලකේ.

එදා මෙදා තුර ලංකා ගුවන්විදුලිය ලෝකයේත් ඉන්දියානු කලාපයේත් ලංකාවේත් වටිනා සංස්කෘතික උරුමයකි. යටත් විජිත පාලන කාලයේ දෙවන ලෝක යුද සමයේ එය යුද්ධයේම කොටසකි. පෙරදිග රැදී සිටි හමුදා සෙබළුන්ගේ විනෝදාස්වාදයට සංගීතයත් දේශීය භාෂාවලට වෙන් වුණු සීමිත ඉඩකඩක් තුළින් සංස්කෘතික ආගමික අධ්‍යාපනික වැඩසටහනුත් ප්‍රචාරය කෙරිණි.

නිදහසින් පසු වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වූ ගුවන්විදුලිය දේශපාලන උපකරණයක් බවට පත් විය .රජයට අයත්ව තිබූ එකම ජනමාධ්‍ය ආයතනය බැවින් එය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම වැළැක්විය නොහැකි විය.1959 දී එවකට තාවකාලික අගමැතිවරයා වූ විජයානන්ද දහනායක තමන්ට ප්‍රතිවිරුද්ධ පුවත්පත්වලින් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා ගුවන්විදුලිය සෘජු දේශපාලන වැඩසටහන්කරණය කරා මෙහෙයවීය.

රටේ සංවර්ධනයට අධ්‍යාපනයට දායකත්වයක් ලබාගැනීමට අතිරේකව දේශපාලන ප්‍රතිරූප ගොඩනැංවීම සහ වෙනත් ව්‍යාපෘති සඳහා ගුවන්විදුලිය යොදා ගැනීම ආරම්භ වූ බව නොරහසකි.
ලංකා ගුවන්විදුලිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ 1965 සහ 1972 ගුවන් විදුලි කොමිෂන් වාර්තාවලද ගුවන්විදුලිය දේශපාලනීකරණය වීමේ ක්‍රියාවලිය පැහැදිලි කර තිබුණි. එමගින් මතුවූ තවත් වැදගත් කාරණයක් වූයේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයයි.

වෘත්තිය සමිතිය හා එහි දේශපාලනය
රටක මෙන්ම ජනමාධ්‍ය ආයතනයක වෘත්තිය සමිති පැවතීම බලපෑම් කණ්ඩායමක් ලෙස අතිශය වැදගත්ය. එහෙත් මෙම වෘත්තිය සමිති බොහෝ විට මුල් කොට සලකනු ලැබූයේ රටත් ආයතනයත් නොව තමන්ගේ වෘත්තිය සමිතිය හා එහි දේශපාලනය මතය තහවුරු කර ගැනීම පමණක් ප්‍රමාණවත් වන බවය.

එහි ප්‍රතිඵලය වූයේ ශාස්ත්‍රීය වශයෙනුත් පොදු ජනතාවගේ සංස්කෘතිය, විවේකය, විශ්‍රාන්තිය, අධ්‍යාපනය වෙනුවෙනුත් කටයුතු කරමින් තිබූ ගුවන්විදුලිය ක්‍රමිකව බිඳ වැටීමය.
දේශපාලන පත්වීම්, තනතුරු බෙදා ගැනීම්, වෙනස් දේශපාලන මතවාද දරන්නන්ට ස්ථාන මාරුවීම්, වෙනස් දේශපාලන මත දරන ගායක ගායිකාවන්ගේ ගීත විනාශ කිරීම යනාදී මෙකී නොකී අකටයුතුකම් රැසක් ඊට එක්ව තිබුණි.
අධ්‍යාපනය, ශාස්ත්‍රීය, කලා, සංස්කෘතික, සමකාලීන තත්ත්වයන් සහ රටේ සංස්කෘතික උරුමය එක් රැස්කර පවත්වාගෙන ගිය ආයතනයක් වශයෙනුත් ගුවන්විදුලියට හිමිකර ගැනීමට තිබූ කීර්තිය දේශපාලන ක්‍රියාවලිය සහ ආයතනය තුළින් මතු වූ දේශපාලන ව්‍යාපාර හේතුවෙන් බිඳ වැටුණු බව නොරහසකි.

ගත වූ අවුරුදු 99 ම නොසලකා හැර වුවද ලංකාවේ විශාලතම ශබ්ද අන්තර්ගතයන් සහිත ආයතනය ලෙස ගුවන්විදුලියට ඩිජිටල් මාධ්‍ය ලෝකයේ ඉදිරි ගමනක් යාමට තවමත් පමා නැත. ගුවන්විදුලියේ සියවස් සැමරුම කළ යුත්තේ මහා භාණ්ඩාගාරයට ජනතාවට බරක් නොවන මහජන මාධ්‍ය සම්ප්‍රදායක් සහිත ආයතනයක් වශයෙනි.
~සංස්කාරකවරු~

මෙවර කලාපයේ පළ වී ඇති ලිපි
– “දේශපාලන හිතවතුන් යොමු කිරීම නිසයි සේවක අතිරික්තයක් ඇතිවෙන්නේ, නැතුව සේවකයෝ ප්‍රසූත කිරීමක් මෙතන වෙන්නේ නෑ” ඉන්දික ජයරත්න | බුද්ධිකා දිල්හානි
– ජාතික ගුවන්විදුලිය දනන් තුඩ රැංදූ නොමියෙන හඬ මාධූර්ය නිව්ටන් ගුණරත්න මහතා | සුදර්ශනී කෝණාර
– එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට…… | විජයානන්ද රූපසිංහ
– ගුවන්විදුලි ලෝකයට ශතවර්ෂයක් පිරේ – 2024 ලෝක ගුවන්විදුලි දිනය | නිම්නාදි සෞභාග්‍යයා
– “යාවත්කාලීන නොවුණොත් ගුවන්විදුලිය වඳ වෙන්න පුළුවන්” ජ්‍යෙ. කථි. ධම්මික බණ්ඩාර හේරත් | ඉසුරි එදිරිසිංහ

 

– ආක්‍රමණශීලී වෙබ් රේඩියෝව | සුපුනි ප්‍රාර්ථනා කොඩිකාර
– කතා කරන පොත්.. | හංසිකා ලියනගේ
– Music Store එකකින් ලෝකය ම හොල්ලපු මැජික් එක “Spotify” | දිමුතු චතුරංග ජිනසේන
– ගුවන්විදුලියට අවශ්‍ය කටකාරයෙක් නොවේ | නිපුනි භාග්‍යා
– “සල්ලි නිකං සර්පයෙක් ගානට තමයි හැමෝම හිතාගෙන ඉන්නේ” අරවින්ද ලොකුගේ | නිලුක්ෂි කුමාරි
– දැවැන්ත ආයතනවල අභ්‍යන්තර මහජන සම්බන්ධතා ටූල් එකක් බවට පත් වී තිබෙන වෙබ් රේඩියෝ | සතුශ්ක ජයවර්ධන
– සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශන අයිතිය සහතික කළ රම්සිගේ නඩු තීන්දුව | සකීෆ් සාම්
ලිපි කියවීමට සන්නිවේදකයා වෙබ් අඩවියට පිවිසෙන්න…

 

 

Related Articles