කුරුල්ලාගේ කතාව – රබිද්‍රනාත් තාගෝර්

කුරුල්ලාගේ කතාව – රබිද්‍රනාත් තාගෝර්

එක් කලෙක කුරුල්ලෙක් වාසය කළේය. ඌ මෝඩ කුරුල්ලෙක් විය. ඌ ගී ගායනා කළ නමුත් පොතපත කියෙව්වේ නැත. ඌ පියෑඹූවේ, පැන පැන ගියේ නමුත් සුසිරිත් පිළිබඳව ඌට අල්පමාත්ර හැඟීමක් නොතිබුණේ විය.

‘මේ වගේ කුරුල්ලන්ගෙන් කිසිම ප්රයෝජනයක් නෑ. මුන් වතුවල පළතුරු කනවා විතරයි. ඒ නිසා රාජකීය පළතුරු වෙළඳපොලට පාඩු සිද්ද වෙනවා.’’ රජතුමා පැවසුවේය.
ඔහු අමාත්‍යවරයා කැඳවා මෙසේ අණ කළේය. ‘‘ඌට අධ්‍යාපනය ලබා දෙනු ! ’’

කුරුල්ලාට අධ්‍යාපනය දීමේ වගකීම රජතුමාගේ බෑණනුවන්ට පැවරුණි. මෙම ප්රාණියාගේ් අඥනභාවයට හේතු කවරේද යන්න පිළිබඳව විශේෂඥයින් දීර්ග ලෙස සාකච්ඡුා කළහ. ඔවුන් එළඹුන අවසාන නිගමනය නම්, ‘‘ඉපල් පරඬැල් යොදාගනිමින් කුරුල්ලා විසින් සාදන පුංචි කූඩුවක් තුළ දැනුම් සම්භාරයක් ගබඩා කළ නොහැකිය. එබැවින්, ප්රථමයෙන් ඌට ලගින්නට හොඳ ප‍්‍රමාණවත් කූඩුවක් සෑදිය යුතුය.’’ එම මත ප‍්‍රකාශය නිසා අසීමිතව තුටු පඬුරු ලද විශේෂඥයෝ ආපහු නිවෙස් බලා නික්ම ගියහ.

රන්කරුවා කුරුල්ලාට මනරම් කූඩවක් සෑදීම ආරම්භ කළේය. එය ඉර හඳ යට සිටින සියල්ලන්වම නරඹන්නට පොළඹවන විශිෂ්ටතම කූඩුවක් විය. ‘‘සැබෑ අධ්‍යාපනයක්’’ සමහරු පැවසූහ. තවත් අය පැවසුවේ මෙසේය, ‘‘අධ්‍යාපනයක් ලැබුනත් නැතත්, අඩුම තරමින් කුරුල්ලාට අපූරු කූඩුවක් ලැබී තියෙනවා! මොන තරම් වාසනාවන්ත කුරුල්ලෙක්ද!’’

රන්කරුවා ඉටු කළ සේවය වෙනුවෙන් ඔහුට රජුගෙන් අසීමිත පාරිතෝෂික ලැබුණි. ඔහු බොහෝ සතුටින් නිවෙස කරා නික්ම ගියේය. කුරුල්ලාට ඉගැන්වීමට පණ්ඩිතයෙක් පැමිණියේය. ඔහු මඳක් විපරම් කර නැහැයට දුම්කුඩු උරා නැහැ උගුරු පාදා මෙසේ පැවසීය, ‘‘මේ වැඬේට පොත් කීපයක් තිබිලා මදි.’’

රජතුමාගේ බෑනා විසින් ධර්මාචාර්යවරුන් සහ විවිධ ලේඛකයින් බොහෝ දෙනෙකුන් එක්රැුස් කරනු ලැබීය. ඔවුහු බොහෝ පොත්පත්වලින් අවශ්‍ය කොටස් උපුටා ලියාගත් අතර එසේ උපුටා ගත් කොටස්වලින්ද තවත් දෑ උපුටා ලියාගෙන අධ්‍යාපන ග‍්‍රන්ථ විශාල සංඛ්‍යාවක් සහිත අති විශාල පුස්තකාලයක් ස්ථාපනය කළහ. එය දුටුවෝ කීවේ මෙසේය, ‘‘අහා! ඉගෙනීම පරතෙරට උතුරා යාවි.’’

ධර්මාචාර්යවරු සහ ලේඛකයෝ පිරුණු ගැල් පිටින් රජුගෙන් වස්තු ලැබූහ. ලද සැනින් ඔවුහු තම නිවෙස් බලා ගියහ. එතැන් සිට කිසිදාක ඔවුන්ගෙන් යැපෙන්නෝ දුගී බවට පත් නොවූහ.
මාහැඟි කුරුල් කූඩුවේ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කළයුතු කාර්යභාරය ඉටු කිරීමේ අවේක්ෂණයේ යෙදෙමින් රජතුමාගේ බෑණා හැම මොහොතකම කාර්ය බහුලත්වයකින් පසුවිය. නිතර නිතර එහි අලූත්වැඩියාවන් සිදු කෙරුණි. එපමණක් නොව එය සෝදා පිරිසිදු කිරීමද, ඔප දැමීමද දිනපතා සිදුවිය. මෙය දුටු බොහෝදෙනා, ‘‘අභිවෘද්ධියක සුපැහැදිළි ලක්ෂණයක්’’ ලෙස එය දුටහ.

කුරුල් කූඩුව හා බැඳුණු සේවාවන් සඳහා බොහෝ සේවකයින් බඳවා ගන්නා ලද අතර, ඔවුන් අධීක්ෂණය කිරීමට තවත් අයද, එකී සියල්ලන්ම පාලනය කිරීමට පරිපාලකයෙක්ද, පරිපාලන සහකාරයින්ද, තවත් නිළධාරීන්ද බඳවා ගන්නා ලදී. එම සෑම අයෙකුටම මාස් පතා සිත් පුරා වැටුප් ලැබුන අතර ඔවුන් සැමගේ ලොකු කුඩා පෙට්ටගම් සම්පතින් පිරෙන්නට විය.
ඔවුන්ද, ඔවුන්ගේ සොයුරු සොයුරියෝද, මස්සිනාලා සහ නෑනාවරුද මහත් සේ සුඛිත මුදිත ජීවිත ඇරඹූහ.

බොහෝ දේ හිඟ වූ මේ ලෝකය තුළ, දෝස හොයන්නෝ බොහෝ වෙති. ඔවුන් කියා සිටියේ, ‘‘කූඩුවෙ වැඩ ටික නම් අගේට කෙරෙනවා, එ්ත් කවුරුවත් කුරුල්ලා ගැන තකන්නෙ නෑ.’’
එම වදන් රජුගේ කණ වැකුණි. ඔහු බෑණනුවන් කැඳවා මෙසේ විමසීය. ‘‘මොනවද රත්තරං බෑණො මේ කියන දේවල්?’’

ඊට බෑණා මෙසේ පිළිතුරු දුනි. ‘‘මහරජතුමනි, ඔබ වහන්සේට සත්‍යය දැනගන්න අවශ්‍ය නම් රන්කරුවා කැඳවා විමසනු මැනවි. පඬිවරුන්ගෙන් සහ ලේඛකයින් කැඳවා විමසනු මැනවි. කූඩුව අලුත්වැඩියා කරන්නන් සහ අධීක්ෂකයින් රැුස්කොට විමසනු මැනවි. මේ දෝස හොයන උන් අරමුණක් නැතුව නන්දොඩවන බව ඔබවහන්සේට තේරුම් යාවි.’’

රජතුමාට සියල්ල සක් සුදක් සේ පැහැදළි වූ අතර, සතුටට පත් එතුමෝ රත්තරන් මාලයක් පළඳවා බෑණනුවන්ද සතුටට පත් කළෝය. අධි වේගයෙන් පවත්වාගෙන යන මෙම අධ්‍යාපන කි‍්‍රයාවලිය තමාගේම දෑසින් දැක බලා ගන්නට වරෙක රජතුමාට අවශ්‍ය විය. එබැවින්, යහ`ඵ මිත‍්‍ර, අමාත්‍ය කාරකාදීන් පිරිවරාගෙන එතුමෝ දිනක් එම රාජකීය අධ්‍යාපන මධ්‍යස්ථානයට සම්ප‍්‍රාප්ත වූහ.

රජතුමා ප‍්‍රධාන ෙදාරටුව අසළට සම්ප‍්‍රාප්ත වෙත්ම එතුමා මවිතයට පත් කරවමින් ඝාණ්ඨාර, පංචතූර්ය, සක්, වස්දඬු, කංසතාල ආදී නාද සමූහයක් නැගෙන්නට විය. පණ්ඩිතයෝ තම කේශාවලී පද්දමින් ප‍්‍රශස්ති ගීත තමන්ට හැකි උපරිම ශබ්ද නගා ගයන්නට වූහ. කුරුලූ කූඩුව අලූත්වැඩියා කරන්නෝද, කම්කරුවෝද, රන්කරුවාද, ලේඛකයෝද, කලාකරුවෝද, අධීක්ෂකයෝද, සාහිත්‍යකරුවෝද, රජතුමාගේ ඥතීන්ද අතිමහත් ඝෝෂා නගමින් රජුට සුබපැතූහ.‘‘රාජෝත්තමයාණෙනි, ඔබවහන්සේට මොනවාද හිතෙන්නෙ’’ රජතුමාගේ බෑනා විමසා සිටියේය.
‘‘විශ්වාස කරන්නත් බැරි තරං, විශාල පී‍්‍රති ප‍්‍රමෝදයක්’’ රජතුමාගෙන් එළෙස ප‍්‍රකාශ විය.

‘ප‍්‍රකාශ උනේ නිකම්ම කාහල නාදයක් නොවෙයි රාජෝත්තමයාණෙනි, අති විශාල මුදල් සම්භාරයකුත් එ් පිටිපස්සෙ තියෙනවා.’’ බෑනනුවෝ රජුගේ කණට කර කීවේය.
රජතුමා අතිශය සතුටට පත්විය. එතුමෝ ආපසු යන්නට හැරුනෝ, ප‍්‍රධාන පිවිසුම අසළ සිටි මංගල හස්තිරාජයා පිට නගින්නට සූදානම් වෙත්ම අසළ පඳුරකට මුවා වී සිටි දෝස හොයන්නෙක්, ‘‘රාජෝත්තමයාණෙනි, ඔබතුමා කුරුල්ලාව බැලූවෙ නෑ නේදැ’’යි කෑගසා විමසීය.

රජතුමා තක්කුබුක්කු විය. ‘‘ ඕහ්! මට අමතක උනා. ඔයින් මෙයින් මට කුරුල්ලාව බලාගන්න බැරි උනා.’’ පැවසූ රජතුමා ඇතු අසළින් මෑත්ව අධ්‍යාපන මධ්‍යස්ථානයට නැවත එළඹී පණ්ඩිතයා හමුවිය.

‘‘මට බලාගන්න ඕනැ තමුන්නැහේලා කුරුල්ලාට අධ්‍යාපනය ලබා දෙන ක‍්‍රමය මොකද්ද කියලා.’’ රජතුමා පණ්ඩිතයාට පවසා සිටියේය. රජතුමා එය දුටුවේය. ඇත්තටම එය සතුට උපදවන දසුනක් විය. කුරුල්ලා කුරුල්ලෙක් බව හඳුනා නොගතහැකි වන පරිදි යෙදැවුණු එම අධ්‍යාපන ක‍්‍රමවේදය නොතකා හැරිය නොහැකි තරම් ප‍්‍රබල විය. එය කොතරම් ආකර්ෂණීය වීදයත් කුරුල්ලා දෙස බැලීමේ පවා අදාළත්වයක් නොපෙනුනි. සෑම විධිවිධානයක්ම යොදා තිබුණු ආකාරයේ වරදක් නැති බව රජුට පසක්ව ගියේය. කූඩුව තුළ ඉරිඟු හෝ ජලය පවා නොතිබීම විශේෂයක් විය. පොත් කන්දරාවකින් පිටු කන්දරාවක් ඉරාගෙන පෑන් තුඩකින් එම පිටු කුරුල්ලාගේ මුඛයෙහි ඔබා පුරවා තිබුණි. මුඛයේ හොට තුඩු විවර කර කුරුල්ලාට මිහිරි නාද නගන්නට ඉඩ හසරක් නොවීය. ඇත්තෙන්ම එය අතිශයින් විසිත්ත දසුනක් විය.

මෙවර රජතුමා ඇතු පිට නගින්නට පෙර කණ් උගුල්ලන්නෙකු කැඳවා අර දෝස හොයන්නාගේ කණ් උගුල්ලා දමන ලෙස අණ කළේය. වඩාත් ගෞරවාන්විත සහ අපේක්ෂා කළහැකි පරිදි, දිනෙන් දින ගතවෙද්දී කුරුල්ලා අර්ධ වශයෙන් මිය ගොස් සිටියේය.

‘‘මෙහෙම මුරණ්කමක් !’’ කුරුල්ලා දුටු පරිපාලකයා තම නොසතුට පළ කළේය. රන්කරුවා මයිනහම, ගින්දර, මිටිය සහ කැපුම් කටු රැුගෙන වහාම අධ්‍යාපන මධ්‍යස්ථානයට පැමිණියේය. ඔහුගේ පහරදීම් අතිශයින්ම පේ‍්‍රක්ෂණීය විය! යකඩ දම්වැලක් සැපයුනු අතර, කුරුල්ලාගේ තටු කපාදැමින.

‘‘බලන්න, මේ රටේ කුරුල්ලො මන්දබුද්ධික විතරක්යැ, උන්ගෙ කිසිම කෙළෙහිගුණේකුත් නෑ.’’ රජුගේ නෑසියන් තම ගාම්භීර හිස් සොලවමින් පැවසූහ. ඊළඟට පණ්ඩිතයෝ පෑන් එක අතකින්ද, අනෙක් අතින් තෝමරද දරා පැමිණ අධ්‍යාපනයයැයි සැබැවින්ම හඳුන්වා දිය හැකි නිසි කාර්යභාරය ඉටු කළහ.

රන්කරුවා ධනයෙන් ආඨ්‍ය විය. ඔහුගේ බිරිඳ ස්වර්ණාභරණ පෙට්ටගමක හිමිකාරියක් බවට පත්විය. කුරුල්ලාගේ අධ්‍යාපනය පිළිබඳව දැඩි අවධානයෙන් සිටිමින් ප‍්‍රධාන පරිපාලකතැන විසින් ඉටු කළ වගකීමේ අගය පැසසූ රජතුමා ඔහුට නම්බුනාමයක්ද තව තවත් තාන්නමාන්නද ප‍්‍රදානය කළේය.

මේ අතර කුරුල්ලා මියගියේය. එය සිදු වූවෙ කවර නම් මොහොතේදැයි කිසිවෙකු නොදත්හ. අති දුෂ්ට දෝස හොයන්නෝ, ‘‘කුරුල්ලා මලේය’’ යන පුවත රට පුරා පතළ කර හැරියේය.
රජතුමා බෑණනුවන් කැඳවීය. ‘‘බෑණන්ඩියෙ, මොකද්ද මේ ආරංචිය?’’
’’රාජෝත්තමයාණෙනි, කුරුල්ලාගෙ අධ්‍යාපන කටයුත්ත දැන් අවසානයි.’’
‘‘ඌ තවම පැන පැන යනවාද?’’
‘‘දෙවියො තහනම් කරලා.’’
‘‘ඌ තවම පියාඹනවාද?’’
‘‘නැහැ.’’
‘‘ඌ දැන් සිංදු කියනවාද?’’
‘‘නැහැ.’’
‘‘දැන් ඌ වෙලාවට කෑම ලැබුනෙ නැත්නං කෑගහනවද?’’
‘‘නැහැ.’’
‘‘අපූරුයි. කුරුල්ලාව අරං එනවා. මට ඌව බලන්න ඕනැ.’’

කුරුල්ලාව රජු වෙත ගෙන එනු ලැබිණ. ඌ සමඟ පරිපාලකයාද, මුරභටයෝද, අශ්වාරෝහකයෝද පැමිණියහ. කුරුල්ලා කට ඇරියේවත්, කිසිදු හඬක් නැගුවේවත් නැත. පොත්වලින් ඉරාගත් පිටුවලින් උගේ කුස පිරී තිබුන අතර, රජු තම ඇඟිල්ලෙන් කුරුල්ලාගේ සිරුර ඔබා බලනවිට එතුළින් කඩදාසිවලින් නැගුන ‘‘සර, සර’’ හඬ පමණක් ඇසුණි.

මේ මොහොතේ අවට තුරුලිය නලවමින් දකුණු දිග සුළඟ මලින් බර වූ වනාන්තරය හරහා හමා ගියේ වසන්තය සපැමිණෙන බව ප්රකාශ කරණ ලෙසිනි. අතුපතර තම ළපටි දලුවලින් අහස පිසිමින් ගැඹුරු හැඟීම් බර සුසුම් හෙලන්නට විය.
පරිවර්තනය – පරාක්‍රම නිරිඇල්ල

Related Articles