කාත්තන්කුඩි නිවෙසේ බෝම්බය අබිරහසක්

කාත්තන්කුඩි නිවෙසේ බෝම්බය අබිරහසක්

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක පෙරේදා (16) රාත්‍රියේ ඇති වූ අභිරහස් පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. මෙම බෝම්බ පිපිරවීම සිදු වූ නිවසේ අයිතිකරු ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ අලෙවිසලක සේවය කරන අයෙකි. මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ, නිවසේ කිසිවෙකු සිටි නොසිටි බව පොලිසිය සඳහන් කරයි.

ඔහු නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර, නිවසේ සිට ඇත්තේ බිරිඳ සහ දරු දෙදෙනා පමණක් වේ. අයිතිකරු ඒ වෙලාවේ මුහුදු වෙරළේ පැවති සාදයකට සහභාගී වී සිට ඇතැයි කියෙයි. නිවසේ නිදන කාමරයේ මෙම පිපිරීම සිදුවී ඇති අතර, පිපිරීමෙන් වහලේ උළු කැට දෙකකට ද හානි සිදුවී තිබේ.

යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් ගෙවත්තෙන් පිට පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක ලීවරයක් සොයාගෙන, වැඩිදුර විමර්ශන සඳහා කාන්තන්කුඩි පොලිසියට බාර දුන්නේය. මෙම පිපිරීම මුලින් සැක කළේ නිදන කාමරයේ සිදුවී ඇති බවට වුවද, පොලිසිය කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇත්තේ එය පිටතින් නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් බවය. මුලින් පොලිසිය සැක කළේ මෙය පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවය. ජීව අත්බෝම්බයක ලීවර් කොටස සොයා ගැනීමත් සමඟ එම මතය බැහැර කිරීමට පොලිසියට සිදු විය.

පොලිසිය අනුමාන කරනුයේ මෙම බෝම්බය මෙරට නිෂ්පාදිත විය හැකි බවය. බෝම්බයට යොදාගෙන තිබූ යකඩ බෝල හතරක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. එම යකඩ බෝල උණුවී ගොස් තිබූ බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත්, මෙම පිපිරීම තවමත් අභිරහසක් බවට පත් වූ අතර, පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබිණි.

 

නිවසේ අයිතිකරුගේ බිරිඳට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත. ඒ අවස්ථාවේ මව සහ දරු දෙදෙනා රූපවාහිනිය නරඹමින් සිටි ඇත. බිරිඳ සිය සැමියාට දුරකථනයෙන් කතා කර පිපිරීම ගැන දැනුම් දී, ඔහු නිවසට පැමිණීමට බල කර තිබේ.

මඩකලපුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණ බෝම්බය පුපුරා ගිය නිවස පූර්ණ සෝදිසියට ලක් කර ඇත.

 

මෙම අභිරහස් පිපිරීම සිදුවූ නිවසේ හිමිකරුගේ සහෝදරයෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම් සමග සම්බන්ධතා පැවැත්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. සහරාන් හසීම්ගේ කල්ලිය සහ ඔහුගේ ප්‍රතිවාදී කල්ලියක් ලෙස සැලකෙන ඉස්ටිහද්දි අහ්දිලුල් සුන්න තුල් ජමාත් කණ්ඩායම අතර 2017 මාර්තු 10 වැනිදා මඩකලපුව අලියාර් හන්දියේ දී ගැටුමක් ඇතිවී තිබිණි. මෙම ගැටුමේදී දෙපාර්ශ්වයේම කිහිපදෙනාට බරපතළ තුවාල සිදු වී තිබූ අතර, පොලිසිය දෙපාර්ශ්වයේම කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් අය අතර, මෙම පිපිරීම සිදුවූ නිවසේ හිමිකරුගේ සහෝදරයෙක් ද වෙයි.

ඔහු සහරාන් හසීම්ගේ කල්ලිය නියෝජනය කරන අයෙකි. මෙම ගැටුම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ඔහු වසරක් රිමාන්ඩ් භාරයේ සිට තිබුණි.

බෝම්බයක් පිපිරී ගිය නිවසේ හිමිකරුගේ සහෝදරයා, දෙවැනි වරට, කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (ටී.අයි.ඩී.) විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු සමග සම්බන්ධතා තිබූ බව කියනු ලැබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් ද කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මඩකලපුව කාත්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ කැලෑවක යතුරුපැදියක් පිපිරී ගොස් තිබුණේ 2018 අප්‍රේල් 19 වැනිදාය. පුපුරන ද්‍රව්‍ය යොදා අත්හදා බැලීමක් කළ අවස්ථාවේ එම යතුරුපැදිය පිපිරී දැඩි ලෙස හානි වී තිබී සොයාගෙන තිබුණේ කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් විසිනි. පරීක්ෂණවලදී, සහරාන් හසීම්ගේ කල්ලියේ අයෙකු අධි බල පුපුරන ද්‍රව්‍ය යතුරුපැදියේ අටවා අත්හදා බැලීමක් කළේදී පිපිරීම සිදු වී ඇති බව පෙනී ගියේය. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම ගණනාවකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ, මේ වන විට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළි කරමින් පැවසීය.

පාස්කු ප්‍රහාරයට මාස කිහිපයකට පෙර, 2018 අප්‍රේල් 19 වැනිදා, කාත්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ කැලෑවක අත්හදා බැලීමක් කළ අවස්ථාවේ සහරාන් හසීම්ගේ මල්ලී රිල්වාන් බරපතළ තුවාල ලැබීය. ඔහුගේ අතක ඇඟිලි සහ ඇසකට තදබල ලෙස හානි විය. රිල්වාන්, මාවනැල්ලේ පදිංචි සිද්ධික් නමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

සිද්ධික්, මාවනැල්ලේ බුදුපිළිම ගණනාවකට හානි කිරීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකුණි. කාත්තන්කුඩියේ යතුරුපැදියක පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීම සිදු වූයේ පාස්කු ප්‍රහාරයට දින තුනකට පෙර යැයිද පාලිත සිරිවර්ධන මහතා පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් දින දෙකකට පසු, සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී, රිල්වාන් බෝම්බයක් පුපුරවාගෙන මිය ගිය අතර, එහි සිටි දරුවන් ඇතුළු කිහිප දෙනකු මියගොස් තවත් කිහිප දෙනකු බරපතළ තුවාල ලැබිය

Related Articles