ඔහු ජයසිරිය

ඔහු ජයසිරිය

‘ අනිද්දා ‘ පුවත් පතට ලියන රූප මංසල ලියන හේමන්ත අරුණසිරි කියනවා මෙන්න මෙහෙම

ඔහු සහ ඔහු
” රංගාභ්‍යාසායතන ක්‍රමවේදය පිළිබඳව මා දන්නේ ඉතා මඳ වශයෙනි. එමඟින් පෞරුෂත්වය වර්ධනය කෙරේ අවධානය යොමු කරන බව නම් මම දනිමි. ඇතැම් රංගධරයන් විෂයයෙහිලා මෙකී සංවර්ධනය සාක්ෂාත් කර ගත හැකිව ඇත්තේ ඉතා මඳ වශයෙනි. සියල්ලටමත් වැඩියෙන් ගත් කල රංගනය යනු අනෙක් පුද්ගලයන් සේ පෙනී සිටීමයි. පෞරුෂත්වය යනු කවරාකාරයේ කාර්ය සාධනයන් තුළින් හෝ ප්‍රභාවත් වන්නා වූ එසේම නිශ්චිතව නිර්වචනය කළ නොහැක්කා වූ දෙයකි. කෙසේ වෙතත් සෑම ක්‍රමවේදයක්ම ගත් කල එහි යම් කිසි දෙයක් ගැබ්ව පවතියි. උදාහරණයක් ලෙස ස්ටනිස්ලාව්ස්කි සැම විටම වෙර දැරුයේ ‘ අභ්‍යන්තරික සත්‍යය ‘ මතුකර ගැනීමටය. මට වැටහෙන අයුරු එහි තේරුම අදාළ චරිතය රඟපෑම වෙනුවට ඊට සැබැවින්ම ආවේශ වීමය. මේ සඳහා අන් අයගේ හැඟීම් අත්දැකීම් වටහා ගැනීමේ ශක්තිය අත්‍යවශ්‍යය. රංගනයේදී යමකුද සැම විටම සිංහයකු හෝ රාජාලියකු බවට පත්වීම කවරාකාරදැයි හඟින්නට සමත් විය යුතු සේම චරිතයන්හි ආත්මය සහජ ඥානයෙන් හඟින්නට හා ඕනෑම තත්වයක් යටතේ ස්වකීය ප්‍රතිචාරයන් කෙසේ වේද යන්න නිවැරදිව වටහා ගැනීමට සමත් විය යුතුය. රංගනයේ මේ කොටස නම් කිසි දිනෙක හෝ ඉගැන්විය හැක්කක් නොවේ. ”
( මගේ දිවිසැරිය – චාලි චැප්ලින් , සිංහල පරිවර්තනය – චූලානන්ද සමරනායක )

 

ජීවන අවකාශය

කෙනෙකුට තමන්ගෙ ජීවන අවකාශය ඇතුළෙ ඇඳුම් පැළඳුම් වලින්, ගමන් බිමන් වල යෙදෙන ක්‍රමවේද වලින්, අහාර පාන ක්‍රමවේද වලින්, අධ්‍යාපනය ලබන ක්‍රමවේද වලින්, රස්සා කරන ක්‍රමවේද වලින් අනිත් අයට වඩා වෙනස් වෙන්න පුළුවන් ඇති. ඒත් තමන්ගේ පුරුදු ජීවන රටාවෙන් පිටට ගිහිං තවත් කෙනෙක් වෙන්නෙ කොහොමද? ඒ විදිහට වෙන කෙනාගෙ චරිත ස්වභාවය ඇතුළට පිවිසෙන්ට ගියාම තමන් සහ මනෝමය කෙනාගෙ චර්යා රටාවන් පිරිපහදු කරගන්නෙ කොහොමද? ඇත්තටම එතකොට මෙහෙම හැමෝම වෙන කෙනෙක් වෙන්න ගියොත් අපි පය ගහල ඉන්න ලෝකෙ කැරකෙන වේගයත් අඩු වැඩි වෙයි කියල මට නං හිතෙනවා, මොකද මේ ලෝකෙ කරකැවෙන්නේ මුහුදු, ගොඩබිම් සහ අවකාශ වගේ භෞතික පදාසයන් සමූහයක බර විතරක් නෙවෙයි, මේ පෘථිවි පරිශ්‍රයෙ ජීවත්වෙන ජීවීන් සමූහයකගෙ මහා සිතිවිලි ස්කන්ධයකුත් එක්ක. ඒ බර දරාගන්න එකම ලෝකයේ දින චරියාවට මොන තරං අභියෝගයක්ද? එතකොට මේ ලෝකෙ ජීවත්වෙන කෙනෙක් වෙනත් කෙනෙක් වෙනව කියන්නෙම එයා ඇතුළෙ දෙන්නෙක් ජීවත්වෙනවය කියන එක. ඒ කියන්නෙ අර මුලින් කියපු චින්තන ධාරිතාවය දෙගුණයක් වෙනවයි කියන එක. ඒ කියන රංගන ප්‍රවිෂ්ටය හැමෝටම කරන්න සිද්ධ වුණොත් නං ලෝකයට මේක උහුලගන්න අපහසු වෙලා භ්‍රමණ සහ පරිභ්‍රමණ වේගයන් ප්‍රසාරණය වෙනවා ඒකාන්තයි.
එහෙම වුණත් සමහර නළුවො රඟපානකොට ලෝකයට බරක් දැනෙන්නෙ නැත්තෙ ඒ මොහොතෙ එතන ඉන්නෙ එක්කෙනෙක් නිසා. ඒකට නං විෂයය පරිශීලනයටත් වඩා තියෙන්න ඕනෙ සතතාභ්‍යාසය එක්ක මුසු වෙච්ච සමාජ අවබෝධයම තමයි. සමාජයේ එක එක ස්තර වලට ඇතුල්වෙලා ඒකෙ පරිච්ඡේද ගණන් කියවපු කෙනෙක් නං එයාට වෙනත් කෙනෙක් වෙනවයි කියන එක හරිම සරල දෙයක්. මේ විදිහට වෙනත් කෙනෙක් වෙලා විධිමත්ව රංගන දිවිය ජයගත්තු පෙර සහ අපරදිග නළු නිළියන්ගෙ නාම මාලාවක්ම සටහන් කරන්න පුළුවන්. නමුත් එක එල්ලේ කියන්න පුළුවන් ඒ අතරෙ අපේ මිත්‍ර ඩබ්ලිව් ජයසිරිත් ඉන්නවය කියන එක. විශේෂයෙන් චිත්‍රපට රංගනය අඛණ්ඩව සිද්ධවෙන ක්‍රියාවලියක් නෙවෙයි.

Bambaru Avith' in Cannes Classics | Times Online - Daily Online Edition of The Sunday Times Sri Lanka

එකම ලයකින්, රිද්මයකින්

දර්ශනයක් රූපගත වෙන්නෙ පුංචි කොටස් විදිහට, ඒ හින්දා සමස්ත රංගනය දින ගණනාවක් පුරා කරන්න සිද්ධවෙනවා. නමුත් වේදිකා නාට්‍යයක රංගන ප්‍රවිශ්ටය සහ භාවිතය එක දිගට පැය දෙකක වගේ කාලයක් පුරා පවත්වා ගතයුතු එකක්. ජයසිරි කියන්නෙ අදටත් මේ ක්‍රමවේදයන් ද්වයම එකම ලයකින්, රිද්මයකින් පවත්වාගෙන යන කෙනෙක්. සුගතපාල ද සිල්වාගේ ”දුන්න දුනු ගමුවේ ”ඉඳන් අතුල පතිරණගේ ”දොළහක් ”දක්වාත්, ධර්මසේන පතිරාජයන්ගේ ”බඹරු ඇවිත් ” පටන් තවත් අනේක විධ අධ්‍යක්ෂ ගොන්නක් එක්ක මෙතෙක් පැමිණි සිනමා සහ ටෙලිනාටක මාලාවන් තුළත් ජයසිරි ප්‍රාණවත් කළේ වෙනත් ආවේශයන් සමුදායක්. රොබර්ට් රෙඩ්ෆෝර්ඩ් කියන අති විශිෂ්ට චරිතාංග නළුවා එකිනෙකට පරස්පර චරිත ද්වයකට පණදෙමින් Out of Africa. සහ Indecent Proposal කියන සිනමා ප්‍රකාශන වලට ඉමහත් සාධාරණයක් ඉෂ්ට කරපු හැටි තවමත් අපේ මතකයට අමතක නැහැ. ඒ ශක්‍යතාවය සන්තකව අප අතර සිටින්නා ඩබ්ලිව් ජයසිරි බව ආයාසකින් තොරවම කියන්න පුළුවන්. සහය අධ්‍යක්ෂණය, රංගනය හෝ ගීත රචනය වැනි සෑම ශානරයක් ඇසුරේම නිර්මාණ කටයුත්තකට පිවිසීම ඒ ඒ ශානර භාෂාවට අනුකූලව කිරීමේ වගකීම ජයසිරි සන්තක විශේෂත්වයක්. ”උදුම්බරා සහ හඳුනාගත්තොත් ඔබ මා ”වගේ ගීත රචනා වෙනුවෙනුත් තමන් ඉවත් වී ගීත රචකයා වෙනුවෙන් දොරටුව විවර කරවන්නේ සැහැල්ලු ඒ හැම නිර්මාණශීලී භාවිතයකම සිටින්නේ ඔහු වෙනුවට ඒ අවස්ථාවට උචිත ඔහුම පැමිණ සිටින නිසා. මම හිතන්නෙ තමා තුළ සිටින තමා පළවා හැර, එයට උචිතම අනෙකා තමා කරා ගෙන්වා ගැනීමේ සහ ඔහු සමග ජීවත්වීමේ රංගන ප්‍රතිභාව අවකාශ ගතකරන ජයසිරි අදත් අලුත්ම Clapperboard, එකක් එක්ක වුණත් වැඩ කරන්න සූදානම්. ඒ ඔහු තමන්ගේ විෂය මූලික ව්‍යාකරණ එක්ක සමාජය කියවීමේ දැනුමෙනුත් සන්නද්ධ නිසා.
දැන් ජයසිරිගෙ ෆෝන් එකට Message එකක් ඇවිත් චාලි චැප්ලින්ගෙන්.
මචං ජයසිරි,
මම සිනමාවෙන් කළේ මිනිස්සුන්ගෙ ඇතුළෙ හැංගිලා තිබුණු හිනාව එළියට ගත්තු එක. ඒත් නිතරම වැස්සෙ තෙමි තෙමී ඇවිදගෙන යන්න මම ආසයි. ඒකට හේතුව ඒ වෙලාවට මගේ ඇස්වල තියෙන කඳුළු අනිත් අයට නොපෙනෙන නිසා.
මචෝ චැප්ලින්,
මම කල්පිටියෙ බඹරු ඇවිත් වැල්ලෙ පලුපැලෙන අව් කාස්ටකේට කරුකුට්ටං වෙච්ච එකෙක්. ඒ වගේමයි සාද් ඈපානන් විදිහට වේදිකාව උඩ මරාසාද් කියන මුරුගසන් වරුසාවටත් දියබත් වෙච්ච එකෙක්. ඒ හින්දා මට හිනාවයි, කඳුළයි දෙකම එක වගේ.
ඒ නිසා වෙන්න ඇති අදින් අවුරුදු හතලිස් හයකට විතර කලිනුත් ජයසිරි මෙහෙම ලිව්වෙ.
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය.

 

ඡායා රූපය කියන්නෙ සන්නිවේදන මෙවලමක් - හේමන්ත අරුණසිරි (වීඩියෝ)
හේමන්ත අරුණසිරි.

 

Related Articles