ලක්ෂ හතකට ඡන්ද අහිමි

ලක්ෂ හතකට ඡන්ද අහිමි

රෝහණ හෙට්ටිආරච්චි

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ ලක්ෂ හතකට ආසන්න සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් මෙලෙස මඟ හැරෙන බවයි.

“විදෙස්ගත වෙලා සිටින ශ්‍රමිකයන්ට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නෑ. ඒ වගේ ම පූර්ණ කාලීනව රෝහල් ගත වෙලා සිටින පිරිස් ඉන්නවා. මාධ්‍යවේදීන්, මැතිවරණ නිරීක්ෂකයන්, රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා ඉන්න අය වගේ ම රේගුව වගේ ආයතනවල වැඩ කරන අයටත් මේ ගැටළුව තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ හතක පමණ පිරිසක් මේ නිසා අතහැරනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

ලක්ෂ හතක ඡන්ද දායකයන් යනු සැලකිය යුතු සංඛ්‍යාවකි. එය තීරක සංඛ්‍යාවක් ලෙසද නම් කළ හැකිය. 2005 වසරේ ජනාධිපතිවරණයේ 50.29%ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ලබාගෙන තිබෙන්නේ ඡන්ද 180,786කි.

රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන ආකාරයට මෙලෙස මැතිවරණවල දී මඟහැරෙන ඡන්ද දායකයන් සංඛ්‍යාව සැලකිය යුතු සංඛ්‍යාවකි.

ආර්ථිකමය කරුණු හේතුවෙන් මඟ හැරෙණ කණ්ඩායම්

 

රාජකාරීමය කටයුතු හේතුවෙන් මේ අකාරයට මඟ හැරෙන කණ්ඩායම් හැරුණුවිට ආර්ථිකමය කරුණු හේතුවෙන් මඟ හැරෙණ කණ්ඩායම් කිහිපයක් ද සිටින බව, සැමට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් හඬ නගන තරුණ ක්‍රියාකාරී හා උපදේශන කණ්ඩායමක් වන Next Democrats කණ්ඩායම විසින් නිරීක්ෂණය කර තිබේ. එහි සම නිර්මාතෘ වන අමන්ද ප්‍රවීශ් රණසිංහ පවසයි . “බහුදින ධීවර යාත්‍රාවල සිටින ධීවරයන්, ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන අය, වතු කම්කරුවන් වගේ අයත් මැතිවරණවලදී ඡන්දය දාන්න යන්න අපහසු අය විදිහට අපි හඳුනගෙන තිබෙනවා. ඒ වගේම මැතිවරණ දිනයේ දි පවා අත්‍යවශ්‍ය රාජකාරීවල නියැලිලා සිටින ඇතැම් වෛද්‍යවරුන්ටවත් තැපැල් ඡන්ද පහසුකම නෑ කියලා අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. දවසේ පඩියට වැඩ කරන බොහෝ අය දුර ගෙවාගෙන ගිහින් ඡන්දය පාවිච්චි කරනවාට වඩා තමන්ගේ දවසේ ඉපැයීම කරන්න තියෙන ඉඩකඩ වැඩියි,” අමන්ද පෙන්වා දුන්නේ ය.

 

විසිදහසකට වැඩි රැඳවියන්ට අහිමි වූ ඡන්දය
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන දත්තවලට අනුව 2024 ජුලි 27වන දිනට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30384ක් වන අතර, එයින් 19892ක් ම දඬුවම් නියම නොවූ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් ය. සිරකරු අයිතිවාසික සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ සිරකරුවන්ට වසර ගණනාවක පටන් ඡන්ද අයිතිය අහිමි කර ඇති බවයි.

“සිරගතවෙලා සිටින රැඳවියන්ට ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් දැනටමත් නීති පවතිනවා. 30000 පමණ සිටින සිරකරුවන්ගෙන් 20000 පමණ ඉන්නේ සැකකරුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාවට අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඒ අයට තිබෙනවා. ඊට අමතරව අවුරුදු දෙකට වඩා අඩු සිර දඬුවම් ලබපු අයටත් ඡන්දය ලබා දීමේ අයිතිය තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ අවුරුදු දෙකට අඩු සිර දඬුවම් ලබපු අයට ඡන්ද බලය තියෙනවා. 89 වගන්තියේ ම ඡන්ද බලය අහිමි අය ගැන විස්තර කරල තිබෙනවා. උදාහරණයක් විදිහට මරණ දඬුවම නියම වුන අයට ඡන්දය පාවිච්චි කරන්න බෑ. ඇත්තටම නීතිය තිබෙනවා. නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම නිසා වසර ගණනක් තිස්සේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය අහිමි කරලා තිබෙනවා,” නීතීඥ සේනක පෙන්වා දුන්නේ ය.

(BBC )

Related Articles