ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයකු වන රනිෂ් හේවගේ යුක්රේන හමුදා සේවයේ යෙදී සිටියදී මිය ගියේ මතක සටහන් රැසක් තබමිනි. ඩුබායි හි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයකු ලෙස සේවයට එක්වූ ඔහු විදේශ හමුදා ලීගයේ සාමාජිකයකු ලෙස යුක්රේන යුද පිටියට එක විය .
සතුරු වලල්ලෙන් ඔබ්බට ගොස් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කි ගේ සම්මානයට පාත්‍ර වූ ඔහු විදේශ හමුදා ලීගයේ භට කණ්ඩායමේ වැඩ බලන අණ දෙන නිලධාරියා ලෙස සේවයේ නියැළිණි.
රනිෂ් හේවගේ ගේ අවසන් මොහොත වාර්තා කරන හමුදාවේ කමාන්ඩෝ බළකායේ සාමාජික හතුරුසිංහ :
“මාත් කපිතාන් රනිෂ් හේවගේත් යුක්රේනයේ බක්මුත් (Bakhmut) ප්‍රදේශයේ සටනේ යෙදී සිටියා. එදා දෙසැම්බර් 04 වැනිදා රුසියානු ප්‍රහාරයකින් අපේ ලංකාවේ නාවික හමුදාවේ සේවය කළ කෙනෙක් මිය ගියා. එයාගේ සිරුර ගන්න විදියක් නො තිබුණු නිසා රනිෂ් සර් සමග අපි හතර දෙනෙක් (හතර දෙනාගේ කණ්ඩායමක්) සිරුර ගන්න ගියා. එහෙම යද්දී එල්ල වුණු ප්‍රහාරයකින් අපේ කෙනෙකුට තුවාල වුණා. ඔහුව ආරක්ෂිතව තියලා අපි තුන් දෙනා ඉස්සරහට ගියා. එහෙම යද්දි අපට අණ ලැබුණා තුවාල වුණු යුක්රේන හමුදා නිලධාරීන් තුන් දෙනෙක් පස්සට ගේන්න කියලා. මුලින්ම අපට එල්ලවුණු ආටි ප්‍රහාරයෙන් (කාල තුවක්කු)රොඩ්නි ජයසිංහ මිය ගියා. ඊළඟ ආටි එක මගේ ළඟට වැටුණා. මට තුවාල වුණා. මං අමාරුවෙන් නැගිටිද්දී තවත් ආටි ප්‍රහාර පහක් එල්ල වුණා. යුද පිටිය ගෙදර වගේ වුණත් අපත් කම්පනයට පත් වෙනවා. මේ වන විට අපේ සහෝදර සෙබළු හතර දෙනාගෙන් එක් කෙනෙක් තුවාල ලබලා. තවත් කෙනෙක් මැරිලා. මට තුවාල වෙලා. රනිෂ් සර් මං ළඟට එන්න හැදුවෙ මං ජීවතුන් අතර ඉන්නව ද බලන්න. එන්න හදද්දිම එල්ල වුණු ආටි ප්‍රහාරයෙන් සර් නැති වුණා. තුවාල තියෙද්දිත් මං බොහොම අමාරුවෙන් රනිෂ් සර්ගෙ සිරුර කිලෝමීටර් 15 ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. ඒ අරන් ආවෙත් ආටි ප්‍රහාර එල්ල වෙද්දියි. සිරුර ආරක්ෂිත තැනක තියලා මං වෛද්‍ය ප්‍රතිකාර දෙන තැනකට ආවා.”