මේ කාන්තාව ජංගම දුරකථන දෙකක් භාවිතා කරන්නීය. එකක් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලන බව කියමින් වට්ස් ඇප් පණිවිඩ එවන දුරකතනයයි. අනෙක එම පණිවිඩ ලැබෙන දුරකතනයයි. පණිවිඩය තම දුරකථනයට පසුව ඇය යන්නේ උසස් පොලිස් නිලදාරීන් වෙතය.
අනේ සර් මාව බේරගන්න. කෝටියක් කප්පම් ඉල්ලලා කට්ටියක් මට තර්ජනය කරනවා. එච්චර සල්ලියක් දෙන්න මා ගාව නැහැ. ඒ අය කියනවා අම්මයි තාත්තයි ගාව තියෙන සල්ලිවලින් දෙන්න කියලා. සල්ලි දුන්නේ නැත්නම් මාව රේප් කරල මරනවා කියනවා. “මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායකට ඇය පැවසුවත් ඔහු කලබල වුයේ නැත
පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කරන ලෙස පැවසු ඔහු තමන්ගේ දුර තබා ගත්තේය. ඇය නොයෙකුත් හේතු දක්වමින් පැමිණිල්ලක් කිරීමට පසුබට වන විට ඔහු බුද්ධි අංශ විමර්ශන ආරම්භ කළේය.
මෙම කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමාව හඳුන්වා දුන්නේ දිසානායක මුදියන්සේලාගේ නිෂාදි ජලංගනා දිසානායක යැයි කියාය. ඇය කියන්නට වූයේ තමා විසිනව හැවිරිදි වියේ පසුවන්නියක් බවය. මාර්ගගත ක්‍රමයට උසස් පෙළ රසායනික විද්‍යාව උපකාරක පන්ති පවත්වන බව කී ඇය එය සනාථ කිරීමට උපකාරක පන්ති සඳහා ඇය විසින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කළ දැන්වීම් කිහිපයක් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකතනය වෙත වට්ස්ඇප් කර තිබුණාය. ඒත් එක්කම ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියන්නට වූයේ තමා තවමත් අවිවාහක තැනැත්තියක් බවය.
ඒ හැරුණු කොට ඇය තමන් පේරාදෙණිය හිඳගල පදිංචිකාරියක් බව ද කීවාය. උසස් පෙළ රසායනික විද්‍යා පන්ති පවත්වන්නියක් යැයි කියා ද ඇය එහිදී කීවේ ඒ ලලිත් පතිනායක ඇගෙන් හාර අවුස්සා ඇගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට කළ ප්‍රශ්න කිරීම් හමුවේය. එහිදී ඇය කී ආකාරයට අනුව ඇගේ පියා ඉංජිනේරුවරයෙකි. මව ජීව විද්‍යා ගුරුවරියකි. දැන් ඒ දෙන්නාම විශ්රාමිකයන්ය. ඇය පවසන්නට වූ ආකාරයට අනුව කෝටියක කප්පම් ඉල්ලා ඇයට මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබෙන්නේ මාස කිහිපයක් තිස්සේය.
විශේෂ ඒකකයේ ප්‍රධානියා බුද්ධි නිලධාරීන් කිහිප දෙනකු යොදවා කළ පරීක්ෂාවේදී පෙනී යන්නේ ඇය විසින් ලලිත් පතිනායකට ලබා දුන් ලිපිනය පවා ව්‍යාජ එකක් බවය. අඩුම තරමින් ඒ පැත්ත පළාතකවත් එවැනි නමක් ඇති කාන්තාවක් හෝ ඇය විසින් කියන්නට වූ පසුබිමක් ඇති පවුලක් සොයා ගන්නට පවා නොවීය. එසේම ඇය මාර්ගගත ක්‍රමයට රසායනික විද්‍යාව උපකාරක පන්ති පවත්වන්නේ යැයි කී දැන්වීමේ සඳහන් තොරතුරු විමසා බැලීමේදී පවා අනාවරණය වන්නේ එහි ඇති තොරතුරු පවා ව්‍යාජ බවය.
විශේෂ ඒකකයේ බුද්ධි නිලධාරීන් ඒ යැයි කියා සිය විමර්ශන එතැනින් හමාර නොකළේය. ඇය විසින් ලලිත් පතිනායකට ඇමතුම් දුන් දුරකතනයේ අංකය ඔස්සේ තාක්ෂණික පහසුකම් උපයෝගී කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලන්නට ගත්තේය. එම දුරකතනය ලියාපදිංචි වී තිබුණේ පුත්තලමේ ලිපිනයකටය. එම ලිපිනය සොයා ගිය බුද්ධි නිලධාරීන්ට පෙනී යන්නේ එම ලිපිනය ද ව්‍යාජ බවය. 1942 වසරේ ඉපදුණු පුද්ගලයකුගේ හැඳුනුම්පතක පිටපතකින් ඇය ඇමතුම් දුන් සිම්පත ලබාගෙන ඇති බව ඒ අනුව පැහැදිලි විය. මෙහිදී ලලිත් පතිනායක බුද්ධි නිලධාරීන්ට උපදෙස් දෙන්නේ ඇය විසින් තමාට යොමු කළ ස්ක්‍රීන් පිටපත්වල ඇයට තර්ජනය කලා යැයි කියූ දුරකතනයේ අංකය ගැන සොයා බලන්නැයි කියාය.
එහි ප්‍රතිඵලයත් එයමය. ඒ එම සිම්පත ලියාපදිංචි කර ඇති ජාතික හැඳුනුම්පත් පිටපතේ ඇති තොරතුරුවල සඳහන් එවැනි ලිපිනයක් හෝ පුද්ගලයෙක් සොයා ගන්නට නැති බවය. තාක්ෂණයෙන් කළ හැකි බොහෝ දෑ ඇති බැවින් එම දුරකතන දෙක ක්‍රියාත්මක වෙමින් ඇති ප්‍රදේශයන් හඳුනා ගැනීමට පවා බුද්ධි අංශ නිලධාරීන් තමන් දන්නා කියන තාක්ෂණික ගේම් හැම එකක්ම දැමුවේය. එම දුරකතන දෙකේ සාමාන්‍ය ඇමතුම් ලබාගැනීමේ පහසුකම් අවහිර කර අන්තර්ජාල පහසුකම් මඟින් පමණක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් පණිවුඩ හුවමාරු කර ගැනීම හේතුවෙන් මෙන්ම වෙනත් තාක්ෂණික අවහිර කිරීම් හේතුවෙන් එම උත්සාහයන් පවා බිඳවැටුණේය.
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටින්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකය. දක්ෂ අපරාධ විමර්ශකයකේ වූ ඔහු ඇතුළු නිලධාරීන් එතැන් සිට විමර්ශන සිය භාරයට ගෙන මෙම අබිරහස් කාන්තාව හඳුනා ගැනීමට වැඩ පටන් ගන්නේ ඒ වන විට ඇය පස්සේ පැන්නීමට තිබුණු එකම මෙවලම වූ ජංගම දුරකතන අංක දෙකක් ඔස්සේය. සමාගම් දෙකකට අයත් එම ජංගම දුරකතන දෙකේ හිමිකරුවන් පවා සොයා ගන්නට ඒ වන විටත් ක්‍රමයක් නොවූ බැවින් තාක්ෂණය මුල් කරගනිමින්ම විමර්ශන දියත් කරන්නට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට සිදු විය. එම ජංගම දුරකතන දෙක ක්‍රියාත්මක වන ස්ථානය (location) හඳුනා ගැනීමට නොහැකි වන ලෙස තාක්ෂණික ගේමක් ගසා තිබෙන පසුබිමකය. ඒ යැයි කියා තිලක් සමරනායක ඇතුළු නිලධාරීන් පසුබට වූයේ නැත. ඊට එහා ගිය තාක්ෂණයන් ගැන දන්නා කියන උදවියගේ ද සහය ඇතිව දිගින් දිගටම එම දුරකතන දෙක පස්සේ පැන්නුවේය.
දුරකතන අංක දෙකම ක්‍රියාත්මක වන්නේ කැකිරාව හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව බව ඒ ඔස්සේ අනාවරණය කරගත් තිලක් සමරනායක ඇතුළු නිලධාරීන් අවසානයේදී විවිධ උපක්‍රම හා විධික්රම ඔස්සේ ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ඇමතුම් දුන් තැනැත්තිය හඳුනා ගත්තාය. බැලින්නම් ඇය ඒ වන විටත් ලලිත් පතිනායක හමුවේ පවසා තිබූ නම, ගම, වයස ඇතුළු හැමදෙයක්ම බොරුය. ඇය ඇමතුම් ලබාදුන් ජංගම දුරකතනය මෙන්ම ඇයට තර්ජනය කර කප්පම් ඉල්ලූ බව කී ජංගම දුරකතනය ද තිබුණේ ඇය සතුවය. ඇය එම ජංගම දුරකතන සිම්පත් මිලදී ගෙන තිබුණේ අන්සතු ජාතික හැඳුනුම්පත් දෙකක ඡායාරූප වෙනස් කර සකස් කළ ව්‍යාජ හැදුනුම්පත් දෙකක ඡායා පිටපත් දෙකක් උපයෝගී කරගෙනය. ඒ අනුව වෙනත් පුද්ගලයකුගේ නමින් පෙනී සිටීම සහ කූට ලේඛන සකස් කිරීමේ වරදට ඇයව අත්අඩංගුවට ගන්නේ කැකිරාව තලාව පාරේ දෙවනපෑ තිස් මාවතේ නිවෙසක රැඳී සිටියදීය.
ඇගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ කැකිරාවේ සිට මහනුවරට රැගෙන ඒමෙන් පසුවය. ඇය එහිදී පොලිස් නිලධාරීන් ඉදිරියේ ලොකු කතාවක් කියන්නට ගත්තාය.
ඊට අනුව ඇය රණතුංග මුදියන්සේලාගේ මාලිකා අයිරාංගනීය. ඒ වන විට ඇය පසුවන්නේ 39 හැවිරිදි වියේය. වට්ස්ඇප් අංකයෙන් ඇය ඇමතුම් ගැනීමේදී එහි සටහන්ව තිබුණු රූපයට වඩා ඇගේ සැබෑ රූපය හාත්පසින්ම වෙනස්ය. එම වට්ස්ඇප් ගිණුමේ ඇය පෙන්වා තිබුණේ පරිගණක ආශ්රයෙන් හැඩ වැඩ කරගත් ළාබාල පෙනුමැති සුරූපී රුවකි. හැබැයි ඒ ඇගේ සැබෑ රුවමය.
ඇය පවසන ආකාරයට අනුව ඇගේ උපත සිදුව ඇත්තේ කැකිරාව රෝහලේදීය. ඒ 1985 වසරේ සැප්තැම්බර් 14 වෙනිදාය. ඇගේ පියා රණතුංග මුදියන්සේලාගේ කළුබණ්ඩාය. ඔහු කැඩුම් බිඳුම් වෙදෙකි. පාරම්පරික වෙදකමට අමතරව ඔහු ලී ඉරීම වෘත්තියක් ලෙස කරගෙන ගොස් තිබුණේය. මව රංවියාගෙදර රන් මැණිකේය. ඇය පවසන ආකාරයට අනුව මේ දෙන්නාම දැන් ජීවතුන් අතර නැත්තේය.
“රක්ෂාවෙන් අයින් උනාට පස්සේ හිතුණා උපාධියක් කරන්න ඕනේ කියල. ඒත් ඒකට කොහෙන්ද සල්ලි. ඒ නිසා ඒක කරගන්න බැරිවුණා. කලබල වෙලා රක්ෂාව නැතිකරගෙන අවුරුදු එකහාමාරක් විතර ගෙදර හිටියා.“ ඇය පවසන්නීය.
ඇයට විවාහ යෝජනා කිහිපයක්ම එන්නේ ඔය කාලය තුළදීය. ඒ වෙනකොට ඇය විවාහ වීමේ අපේක්ෂාවෙන් තරුණයෙක් සමීපව ඇසුරු කරමින් සිටියාය. මරදන්කඩවල නුවර පාරේ තැපැල් කාර්යාලය අසල පදිංචිකරුවෙක් වූ ඔහු ෆිනෑන්ස් සමාගමක මුදල් වාරික එකතු කිරීමේ නිලධාරියෙක් ලෙස රැකියාවේ නිරතව සිටියෙකි. 2015 වසර වන විට ඔහු සේවයේ නිරතව සිටියේ උතුරුමැද පළාත් අධ්‍යාපන කාර්යාලයේ කාර්ය සහයකයකු ලෙසිනි. ස්ථිර වැටුප් සහිත එම පත්වීම ලැබීමත් සමඟ ඔහු සමඟ ඇය විවාහ දිවියට එළැඹෙන්නේ 2015 වසරේ මාර්තු 22 වෙනිදාය. නමින් ඔහු චින්තක ගලප්පත්තිය. විවාහය පවා මහත් ඉහළින් සමරන්නේ දඹුල්ලේ පිහිටි ලොකු හෝටලයකදීය. ඒ බැංකුවකින් ලබාගත් රුපියල් 75,000ක ණය මුදලකිනි. ඒ හැරුණු කොට හමුදා සේවයේ සිටි පොඩි අයියාත් අමතර වියදම් ගොන්නක්ම දැරූ බව ඇය කියන්නීය.
“වෙඩින් එකෙන් පස්සේ අපි පදිංචියට ගියේ චින්තකලාගේ මහ ගෙදරට. මාස හතරකට වඩා හොඳින් ඉන්න බැරි වුණා. නැන්දම්මත් එක්ක ගැටුම් ඇති වුණා. ඒ නිසා මම චින්තකට බල කරලා වෙනම පදිංචියට ගියා. කුලී ගෙදරකට. අපි 2018 අවුරුද්ද වෙනකම් සතුටින් පවුල් කෑවා. ඔය අතරතුරේ තමයි කැකිරාවේ ඔළුකරද ගෙදරක ගෑනියෙක් එක්ක චින්තක සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණේ. ඒ ගෑනි බැඳපු එකියක්. දෙන්නව දවසක් මගේ අතටම අහු වුණා. එදා ඉඳන් අපි දෙන්න අතර ප්‍රශ්න ඇති වුණා. චින්තක අන්තිමේදී මාව දාල එයාලගේ මහ ගෙදරට ගියා. මම කුලී ගෙදරට වෙලා හිටියා. අපි එකට පවුල් කෑවත් දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා චින්තකට මාව පහසුවෙන්ම දාල යන්න පුළුවන් වුණා“ යැයි ඇය කියන්නීය.
ඔය අතරතුර ඇය වවුනියාවේ ඇතැයි කියනු ලබන පුද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයකින් පාඨමාලාවක් ද හදාරා තිබුණාය. ඇය පවසන්නේ නම් උපාධි පාඨමාලාවක් හැදෑරූ බවය. තාක්ෂණය පිළිබඳවත් ඒ ඔස්සේ ජංගම දුරකතනයෙන් වැඩ දැමීමටත් ඇයට දැනුමක් ලැබී ඇතැයි විශ්වාස කරනු ලබන්නේ ඒ ඔස්සේය.
සැමියා අතහැර ගිය දා පටන් ඇය ජීවත්වන්නේ එම කුලී නිවෙසේය. නිසි රැකියාවක් හෝ නිසි ආදායම් මාර්ගයක් නැතත් ඇය ජීවිතය කෙසේ හෝ ගැටගසා ගත්තාය. ඇය තමන් උගත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ දැනුමෙන් රැකියාවක නිරත වූවත් සැමියා අතහැර යාමෙන් ඇති වුණු පීඩනය මුල්කරගෙන විශාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන්නට ගත්තාය. පෞද්ගලික රෝහලකින් ඒ සඳහා තමා ප්‍රතිකාර ගත් බව මෙන්ම එහිදී වරක් විදුලිය අල්ලා කරනු ලබන ප්‍රතිකාරයට ද තමා මුහුණ දුන් බව ඇය කියන්නීය.
“ බෙහෙත් බීලා නැඟිටිනකොට උදේ දහය එකොළහ වෙනවා. ඒ වෙලාවට වැඩට යන්න බැහැනේ. ඒ නිසාම ජීවත් වෙන්න තිබ්බ රැකියාවත් මට නැති වුණා. ඒ නිසා මට පිරිමි සංහතිය ගැන ඇති වුණේ ලොකු වෛරයක්. මම හිතා ගත්තා පිරිමින්ගෙන් පළිගන්න“ ඇය ලොකු කතාවක් ප්‍රශ්න කිරීම් හමුවේ කියාගෙන යන්නට ගත්තාය.
ඒ වන විට ඇගේ සැමියා කැකිරාව උසාවියේ ඇගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක් ද ගොනුකර තිබුණේය. එම නඩුව 2023 වසරේ ජුලි මාසයේදී කැඳවූ අවස්ථාවේදී ඇය සැමියාගෙන් දික්කසාද වන්නට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් ලියකියවිලිවලට අත්සන් තබන්නේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. ඒ වන විටත් ඇය මුහුණුපොත හරහා මුණගැසෙන පිරිමින් සමඟ හිතවත්කම් ගොඩනඟා ගනිමින් පවුල් රැසක් බිඳ දමා තිබුණේ පිරිමි සංහතියෙන් පළිගන්නටය. ඇගේ දැලට මුලින්ම කොටු වෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඔහු අනුරාධපුර පැත්තේය. විශාදයට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේදී ඇයට ඔහුව මුණගැසී තිබුණාය. අනතුරුව ඇය වෛද්‍යවරු, පොලිස් නිලධාරීන්, ඉංජිනේරුවරු වැනි සමාජයේ විවිධ තරාතිරම්වල අය සිය ග්‍රහණයට ගත්තාය. වැඩි හරියක් දෙනා ඇය කොටු කර ගත්තේ මුහුණුපොත හරහාය. ඒ අය සමඟ ඇය කිට්ටු සම්බන්ධකමක් ගොඩනඟා ගත්තේ ඒ තුළින් ජීවත් වීමට මඟක් ද සොයා ගනිමිනි.
පසුගිය වසරේ ඔක්තෝබර් 20 වෙනිදා රාත්‍රී කාලයේදී සිය නිල නිවෙස තුළ හිසට වෙඩි තබාගෙන මියගිය ඇහැලියගොඩ පොලිසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වා ද ඇය ඉතා සමීපව ඇසුරු කළ පිරිමින් ගොන්න අතර සිටි එක් අයෙකි. ඔහු හැරුණු කොට පොලිසියේ දහ පහළොස් දෙනෙක්ම ඇය සමීපව ඇසුරු කර තිබුණාය. ඒ අය ගැන තොරතුරු එළියට එන්නේ ඇය පරිහරණය කළ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදීය. ඒ අතර ලොකු පොඩි භේදයකින් තොරව පොලිස් නිලධාරීන් සිටියේය.
“2022 අවුරුද්දේ රස්සාවෙන් අස්කරල ගෙදර ඉන්නකොට ලොකු මාසික පීඩනයකිනුයි හිටියේ. ඒ කාලේ තමයි ඇහැලියගොඩ පොලිසියේ ඕ. අයි. සී. සුරංජිත් සිල්වා ෆේස්බුක් එකෙන් දැන හඳුන ගෙන යාළු වුණේ. ඒ යාළුකම ගොඩක් සමීප යාළුකමක් බවට පත්වුණා. අපි දෙන්න හැමතිස්සෙම වගේ ෆේස් බුක් එකෙන් චැට් කරනවා. අපි දෙන්න ගොඩාක් වෙලා කතාබහ කරනවා. මට එයා උදව් කරලත් තියෙනවා. හැබැයි අපි දෙන්න කවදාවත් එකට හමු වෙලා නම් නැහැ“ ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇයට මුණගැසුණු හැටි ගැන සහ දෙදෙනා අතර ඇති සම්බන්ධය ගැන කීවේ එසේය.
දෙදෙනා එකට මුණගැසුණේ නැතැයි පැවසීම ගැන ඇත්තේ නම් ලොකු ගැටලුවකි. ඒ ඇයත් ඔහුත් මුණගැසී ඇති බවට තොරතුරු එකල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණවලින් අනාවරණය වී තිබීම හේතුවෙනි.
ප්‍රියංකර සිල්වා එසේ සමීපව ඇසුරු කර තිබුණේ ඇයව පමණක් නොවීය. ඔහුගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී බොහෝ තොරතුරු විමර්ශන නිලධාරීන් එකල සොයා ගත්තේය. ඒ අතර ඔහු වඩාත් සමීපව සම්බන්ධකම් පැවැත්වූ බව කියන දෙදෙනෙක් විමර්ශන නිලධාරින් හඳුනා ගත්තේය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සිදු වූ මොහොතේ ඔහු සමඟ බොහෝ වේලාවක් කතාබහ කර ඇත්තේ ඒ දෙදෙනාය. ඒ එක් අයෙක් වන්නේ මැයයි. දෙවැන්නිය රත්නපුර පැත්තේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ බිරියකි. පොලිස් ස්ථානාධිපතිවරයා මිය ගොස් ඇති බව නොදැන 21 වෙනිදා උදෑසන ද මැය ඔහුගේ ජංගම දුරකතනයට සුරංජිත් අයියා ගුඩ් මෝනින් යැයි කියා සුබ පැතීමක් එක්කර තිබුණාය. ඒ ඔස්සේ පොලිසිය එදා මෙම කතුන් දෙදෙනාවම කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්ත ද වැඩිදුර විමර්ශන සඳහා මැයව ගෙන්වා ගැනීමට පොලිසියට අවකාශයක් නොවීය. ඒ ඇය පෙනී සිටියේ ව්‍යාජ නමකින් වූ බැවිනි. එදා ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයේදී පවා ඇය පොලිසියට ලබා දෙන්නේ ව්‍යාජ ලිපිනයක් සහ නමකි. ඒත් එක්කම ඇය එතෙක් භාවිත කළ ජංගම දුරකතන සිම්පත ද විසි කර දැමීම නිසා ඇය කවුරුන්දැයි මෙතෙක් කලක් පැවතියේ අභිරහසක් ලෙසිනි. ඒ බව අනාවරණය වන්නේ මහනුවරින් ඇහැලියගොඩ පොලිසියට දුරකතන ඇමතුමක් ගෙන ඇය ගැන තොරතුරු විපරම් කර බැලීමේදීය.
“එදා රෑ සුරංජිත් අයියා මගෙත් එක්ක ගොඩක් වෙලා කතා කරමින් හිටියා. එයා හැමතිස්සෙම එයාගේ දුක මට කියනවා. ප්‍රශ්න කියනවා. වෙඩි තියාගෙන මැරෙන්න හිතනවා කියලත් කියල තියෙනවා. එදත් එයා මගෙන් එක්ක කතා කරමින් ඉන්නකොට වෙඩි තියාගෙන මැරෙන්න හිතෙනවා කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා ඉතින් මැරෙන්න කියල. මම හිතුවේ නැහැ එයා ඇත්තටම වෙඩි තියාගෙන මැරෙයි කියල“ යැයි ද ඇය කියන්නට වූවාය.
ඇය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මළ ගෙදරට පවා ගොස් අවසන් ගෞරවයත් දක්වා තිබුණාය. ඔහුගේ වියෝවේ දුක පවා බිරිය සමඟ බෙදාගෙන ද තිබුණාය. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය ඇය කවුරුන්දැයි කියා දැන සිට නැත. එහෙත් ඇහැලියගොඩ පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් ස්ථානාධිපතිවරයාගේ සමීපතමයන්ට නම් ඇය කවුරුන්දැයි ඒ වන විටත් රහසක් නම් නොවීය.
ගයාන් කුමාර වීරසිංහ වාර්තාවක් ඇසුරෙනි.