මන්තන්:රුපියල්  දෙකේ  චිත්‍රපටිය

මන්තන්:රුපියල් දෙකේ චිත්‍රපටිය

ගොවීන් මිලියන භාගයක් නිෂ්පාදකයින් බවට පත්කළ කාන් උළෙලට ගිය ඉන්දීය චිත්‍රපටය
මන්තන් චිත්‍රපටයේ “අසහාය” ග්‍රාමීය කාන්තාවකගේ චරිතයට පණ පොවන ලද්දේ ස්මිතා පටිල් විසිනි
ඡායාරූප ශීර්ෂ වැකිය,මන්තන් චිත්‍රපටයේ “අසහාය” ග්‍රාමීය කාන්තාවකගේ චරිතයට පණ පොවන ලද්දේ ස්මිතා පටිල් විසිනි

 


1970 ගණන්වල මැද භාගයේදී, ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බටහිර දෙස පිහිටි ගුජරාට් ප්‍රාන්තයේ කිරි ගොවීන් මිලියන භාගයක් රුපියල් දෙක බැගින් දායක වූහ.

ගෞරවයට පාත්‍ර වූ චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ ශ්‍යාම් බෙනෙගල් විසින් අධ්‍යක්ෂණය කරන ලද, මන්තන් (කැළඹීම), මහජනතාවගේ අරමුදල්වලින් නිර්මාණය කරන ලද එරට පළමු චිත්‍රපටය බවට පත්විය.

මිනිත්තු 134කින් යුත් 1976 වසරේ නිෂ්පාදිත මෙම චිත්‍රපටය, කිරි හිඟ රටක් වූ ඉන්දියාව, ලොව ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා බවට පරිවර්තනය කළ කිරි සමුපකාර ව්‍යාපාරයක ආරම්භය පිළිබඳ ප්‍රබන්ධිත කතාවකි. ඉන්දියාවේ කිරි නිෂ්පාදනයේ විප්ලවයක් ඇති කිරීම සඳහා “ඉන්දියාවේ කිරි මිනිසා” ලෙස හැඳින්වෙන වර්ගීස් කුරියන්ගෙන් මෙම කතාවට උත්තේජනයක් ලැබිණි. (වර්තමානයේ ඉන්දියාව ගෝලීය කිරි නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ සපයයි.)

එය නිපදවා වසර 50කට ආසන්න කාලයකට පසු, වෙනස් කිරීමකින් තොරව ප්‍රතිස්ථාපනය කරන  ලද මන්තන් චිත්‍රපටය, ෂෝන්-ලූක් ගොඩාර්ඩ්, අකිර කුරොසාවා සහ විම් වෙන්ඩර්ස්ගේ සම්භාව්‍ය චිත්‍රපට සමගින් මේ සතියේ කාන් චිත්‍රපට උළෙලේදී රතු පලස ලෝක මංගල දර්ශනයකට සැලසුම් කර තිබේ. සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු සහ ප්‍රතිස්ථාපකයෙකු වන ශිවේන්ද්‍ර සිං දුංගර්පූර් පවසන පරිදි, එම චිත්‍රපටය ප්‍රතිස්ථාපනය කිරීම අභියෝගයක් විය.

 

ගිරිෂ් කර්නාඩ් (වමේ) පශු වෛද්‍යවරයෙකුගේ භූමිකාවට පණ පොවන අතර ඔහුට අම්රිෂ් පූරි (දකුණේ) රංගනයෙන් දායක වන පෞද්ගලික කිරි ගොවිපළක හිමිකරු හමුවෙයි

දුර්වර්ණ වී ගිය පිටපත්
මන්තන් චිත්‍රපටයේ ඉතිරිව තිබුණේ, හානියට පත් නෙගටිව් පටයක් සහ දුර්වර්ණ වී ගිය පිටපත් දෙකක් පමණි. නෙගටිව් පටය දිලීර මගින් විනාශ වී තිබූ අතර, බොහෝ තැන්වල සිරස් අතට කොළ පැහැති රේඛා පමණක් දැකිය හැකි විය. නෙගටිව් පටයේ ශබ්ද සම්පූර්ණයෙන් විනාශ වී තිබුණු අතර, ඉතිරිව තිබූ එක ම පිටපතේ තිබූ ශබ්ද පිළිබදව විශ්වාසය තැබීමට ප්‍රතිස්ථාපකයින්ට සිදුවිය.

ප්‍රතිස්ථාපනය කරන්නෝ එක් නෙගටිව් පටයක් සහ එක් පිටපතක් බේරා ගැනීමට සමත් වූහ. ඔවුන් පිටපතක් ඉල්ලාගෙන එහි ශබ්ද ඩිජිටල්කරණයට ලක් කර චිත්‍රපටය නැවත සැකසිණි. ස්කෑන් කිරීම සහ ඩිජිටල් පිරිසිදු කිරීම චෙන්නායි රසායනාගාරයකදී බොලොඤ්ඤා නගරය පදනම් කර ගත් චිත්‍රපට ප්‍රතිස්ථාපන විද්‍යාගාරයක අධීක්ෂණය යටතේ සිදු කරන ලද අතර, බෙනෙගල් සහ ඔහුගේ දිගුකාලීන කැමරා ශිල්පී ගෝවින්ද් නිහලානි යන දෙදෙනා ම ව්‍යාපෘතිය අධීක්ෂණය කළහ.

මාස 17කට පසු, මන්තන් චිත්‍රපටය 4K තාක්ෂණය යටතේ යළි ඉපදිණි. ඉන්දියානු සිනමාවේ ප්‍රවීණයෙකු වන බෙනගල් පවසන්නේ, මෙම චිත්‍රපටය ඔහුගේ හදවතට ඉතා සමීපව පවතින බවයි.

පුදුම සහගත යි

“චිත්‍රපටිය ඊයේ පෙරේදා නිර්මාණය කළා වගේ චිත්‍රපටය නැවත පණ ගන්වලා තියෙන බව දැකීම පුදුම සහගත යි. එය පළමු පිටපතට වඩා හොඳයි,” 89 හැවිරිදි සිනමාකරු පවසයි.

නසීරුදීන් ෂා නමැති රංගන ශිල්පියා එම චිත්‍රපටය නිර්මාණය කරන අතරතුරදී ගොම කේක් (ඉන්දියාවේ ලිප්වල දර වෙනුවට භාවිත කරයි) සෑදීමටත්, මී හරකුන්ගෙන් කිරි දෙවීමටත් ඉගෙන ගත්තේ ය

කුරියන්ගේ අනුග්‍රහය ඇතිව, තමන් Operation Flood හෙවත් ඉන්දියාවේ කිරි විප්ලවය සහ ග්‍රාමීය අලෙවිකරණ ක්‍රියාන්විතයන් පිළිබඳ වාර්තා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළ බව බෙනෙගල් ආවර්ජනය කරයි. වාර්තා චිත්‍රපට තුළින් ප්‍රධාන වශයෙන් “පෙළඹවීමක්” ඇති කළ හැකි බව පවසමින්, වාර්තා චිත්‍රපටයක් කිරීමට ඔහු කුරියන්ට යෝජනා කළ විට, කුරියන් ඊට අදිමදි කළේ ය. ගොවීන්ගෙන් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චිත්‍රපටය නිර්මාණය කිරීමට අරමුදල් නැතැයි ඔහු බෙනෙගල්ට පැවසීය.

සමුපකාර ආකෘතිය යටතේ, කුඩා ගොවීන් ගුජරාටයේ එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලයකට උදේ සහ සවස කිරි රැගෙන ගොස් විකිණූහ. ඉන්පසු, බටර් සහ තවත් නිෂ්පාදන සැකසීම සඳහා එම කිරි තොග, කිරි නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරිණි.

කුරියන් යෝජනා කළේ, එකතු කිරීමේ මධ්‍යස්ථාන, ඒවාට පැමිණෙන සෑම ගොවියෙකුගෙන් ම රුපියල් දෙක බැගින් අඩු කර ඔවුන් සියල්ලන්ට ම නිෂ්පාදකයින් බවට පත් වීමට අවස්ථාව සැලසීමට ය. චිත්‍රපටය සැකසීම සඳහා එසේ එකතු කරන ලද අරමුදල් යෙදවීය. “චිත්‍රපටය තුළින් අපි ඔවුන්ගේ කතාව කියන නිසා ගොවීන් ඒකට කැමැත්තෙන් ම එකඟ වුණා,” බෙනෙගල් පවසයි.

මන්තන් ප්‍රධාන චරිත සඳහා ගිරීෂ් කර්නාඩ්, ස්මිතා පටිල්, නසීරුද්දීන් ෂා, අම්රිෂ් පූරි, කුල්භූෂන් කර්බන්දා සහ මොහාන් අගාෂේ ඇතුළු විශිෂ්ට නළු නිළියන් රැසක් දායක වූහ. ප්‍රකට ඉන්දීය තිර රචකයෙකු වූ විජේ ටෙන්ඩුල්කාර් තිර පිටපත් කිහිපයක් රචනා කළ අතර, බෙනෙගල් ඉන් එකක් චිත්‍රපටය සඳහා තෝරා ගත්තේ ය. ප්‍රකට සංගීත නිර්මාණකරුවෙකු වූ වන්රාජ් භාතියා එහි සංගීතය නිර්මාණය කළේ ය.

 

ශිවේන්ද්‍ර සිං දුන්ගර්පූර් (දකුණේ) සහ ඔහුගේ කණ්ඩායම විසින් චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කරන ආකාරය බෙනෙගල් (වමේ) අධීක්ෂණය කළේ ය.

 

චිත්‍රපටය තුළ, නගරයේ ඉපිද හැදී වැඩුණු පශු වෛද්‍යවරයෙක් සහ ඔහුගේ කණ්ඩායම තදබල ලෙස බෙදී තිබුණු ගුජරාට් ප්‍රාන්තයේ ගම්මානයකට පැමිණෙන්නේ, කිරි සමුපකාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් සහිතව ය. සිය කාර්යය ආරම්භ කරන විට, පශු වෛද්‍යවරයා දේශපාලනික කැලඹිලි තත්ත්වයකට හසු වන අතර පෞද්ගලික කිරි ගොවිපළක හිමිකරුවෙකුගෙන්, ගමේ ප්‍රධානියාගෙන් සහ දේශීය කිරි ගොවියෙකුගෙන් එල්ල වූ අභියෝගවලට මුහුණ දෙයි.

“මන්තන් කියන්නේ පරිවර්තනීය දේශපාලනයේ ක්ෂුද්‍ර චිත්‍රයක්… රජයේ නිලධාරීන් පිරිසක් ගමකට ඇතුළු වෙලා ඒ ගම් වැසියන්ගේ සමාජ හා ආර්ථික ඉදිරි දර්ශනය වෙනස් කරන්න උත්සාහ කරන ආකාරය පිළිබඳව බෙනෙගල් විශිෂ්ට සමාජ විවේචනයක් ඉදිරිපත් කරනවා,” යනුවෙන් World Director Series: Shyam Benegal කෘතියේ කර්තෘ සංගීතා දත්තා ලියා තිබේ.

මුදල් ප්‍රමාණවත් නොවුණු අතර

චිත්‍රපටය නිපදවීමට මුදල් ප්‍රමාණවත් නොවුණු අතර, දින 45ක් චිත්‍රපටය රූගත කිරීම අභියෝගයක් විය. රූගත කිරීම් පිටපත් කර ගැනීම සඳහා විවිධ මාදිලියේ සෙලෝලයිඩ් පට භාවිත කළ ආකාරය නිහාලනීට මතක තිබේ. බොහෝ ගම් වැසියන් ද රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය එකට බැඳුණු පවුලක් ලෙස ක්‍රියා කළේ ය. රූගත කෙරුණු කාලය පුරා නළු නිළියන් සිය රංග වස්ත්‍ර වෙනස් නොකළ අතර එහෙයින්, “ඔවුන් ගම් වැසියන් වගේ ම පෙනුණා,” දත්තා පැවසීය.

කිරි ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට, බොහෝ ගම් වැසියෝ රංගනයෙන් දායක වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,කිරි ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට, බොහෝ ගම් වැසියෝ රංගනයෙන් දායක වූහ.
බෙනෙගල් සමග සිය රංගන දිවිය ආරම්භ කළ, පසුව ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පියෙකු බවට පත්වූ නසීරුදීන් ෂාට චිත්‍රපටය රූගත කරන අතරතුර ගෙවූ ජීවිතය ගැන මතක තිබේ.

“මම ජීවත් වුණේ කූඩාරමක් ඇතුළේ. මම ගොම කේක් (ලිප් ගිනි දැල්වීම සඳහා භාවිත කරයි) හදන්නයි, කිරි දොවන්නයි ඉගෙන ගත්තා,” ඔහු පවසයි. “චරිතයේ භෞතික බව තියා ගන්න මම බාල්දි අරගෙන ඒකකයට කිරි දෙනවා.” කාන් සිනමා උළෙලේදී චිත්‍රපටය ඉදිරිපත් කරන නසීරුදීන් ෂා ද රූගත කිරීම් පුරාවට ම ඇඳ සිටියේ එක ම කපු කමිසයකි.

ප්‍රබල පිළිගැනීමකට ලක්වන අයුරින් කුරියන් ගුජරාට්හිදී චිත්‍රපටය එළිදැක්වීය. “චිත්‍රපටය නිෂ්පාදනය කරපු අය ම ඒකෙ විශාලතම රසික පිරිස වූ නිසා චිත්‍රපටය ඉතාමත් සාර්ථක වුණා. හැම දවසක ම චිත්‍රපටය නරඹන්න ට්‍රක් රථවලින් මිනිසුන් පැමිණෙන මෙම ඇදහිය නොහැකි දසුන අපට දැක ගන්න පුළුවන් වුණා,” බෙනෙගල් පවසයි. මිලිමීටර් 35 සිට මිලිමීටර් 8 දක්වා, Super 8, සහ පසුව වීඩියෝ කැසට් පට දක්වා විහිදුණු මෙම චිත්‍රපටයේ පිටපත් ඉන්දියාවේ අන් කිසිදු චිත්‍රපටයකට වඩා නිෂ්පාදනය කර තිබේ. මන්තන් චිත්‍රපටය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇතුළු ලෝකය පුරා ස්ථාන රැසක තිරගත කෙරිණි. එමෙන් ම, ඉන්දියාවේදී ජාතික සම්මානයකින් පිදුම් ලැබීය.

මන්තන් චිත්‍රපටයේ සාර්ථකත්වය තුළින් කුරියන්ට තවත් අදහසක් පහළ විය. කිරි විප්ලවය ප්‍රචාරය කිරීම සඳහා චිත්‍රපටය භාවිත කරමින් ඔහු රට පුරා ගම්මානවලට මිලිමීටර් 16 පිටපත් බෙදා හරිමින් තමන්ගේ ම සමුපකාර ආරම්භ කරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ ය. සැබෑ ජීවිතයේදී සිනමා ජීවිතය අනුකරණය කරමින්, ඔහු චිත්‍රපටය බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා පශු වෛද්‍යවරයකු, කිරි තාක්ෂණ ශිල්පියෙකු සහ ආහාර විශේෂඥයෙකු යැවීය.

 

වෙනසක් ඇති කිරීම සඳහා සිනමාවට ඇති හැකියාව සම්බන්ධයෙන් වන ප්‍රබල සිහිකැඳවීමක් ලෙස මන්තන් හැඳින්විය හැකි බව බෙනෙගල් පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය,වෙනසක් ඇති කිරීම සඳහා සිනමාවට ඇති හැකියාව සම්බන්ධයෙන් වන ප්‍රබල සිහිකැඳවීමක් ලෙස මන්තන් හැඳින්විය හැකි බව බෙනෙගල් පවසයි
වෙනසක් ඇති කිරීම සඳහා සිනමාවට ඇති හැකියාව සම්බන්ධයෙන් වන ප්‍රබල සිහිකැඳවීමක් ලෙස මන්තන් චිත්‍රපටය හැඳින්විය හැකි බව බෙනෙගල් පවසයි. මෙම චිත්‍රපටය සමකාලීන ඉන්දියාව දිගින් දිගට ම ව්‍යාකූලත්වයට පත් කරන ගැටලු රාශියක් අනාවරණය කරන බැවින්, වර්තමානයටත් පුදුමසහගත ලෙස අදාළ වේ.

තවමත් ප්‍රමාද වී ධාවනය වීමට කුප්‍රකට වී ඇති දුම්රිය, චිත්‍රපටයේ ආරම්භක දර්ශනය සඳහා යොදාගෙන තිබේ. වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයා රැගත් මගී දුම්රියක් නිස්කලංක ගම්මානයක් වෙත ඇදෙයි. ප්‍රදේශ වාසීහු, තරමක් ප්‍රමාද වී පැමිණෙන තම අමුත්තන් මල්මාලා පළඳවමින් පිළිගැනීමට වේදිකාව කරා දුව යති.

“අපිට සමාවෙන්න,” හුස්ම ගැනීමට පවා අපහසු ගම් වැසියෙක් පශු වෛද්‍යවරයාට පවසයි. “කෝච්චිය වෙලාවට ඇවිත්.”

 

 

(BBC)

Related Articles