ශ්‍රී ලංකාවේ බස් ගමනා ගමනය වසර සියය ඉක්මවා යයි. මුලින්ම ආරම්භවන්නේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ ව්‍යාපාරයක් ලෙස 1907 වසරේදී. විධිමත් බස් සේවයක්, ආරම්භවන්නේ, කිසිදු පරිපාලනයක් හෝ කළමනාකාරිත්වයක් හෝ නොමැතිව ව්‍යාපාරිකයන් අත ක්‍රියාත්මක වූ බස් සේවාව, 1958 ජනවාරි 1 දා ජනසතු කිරීමත් සමඟයි. වඩාත් පුළුල් හා කාර්යක්ෂම සේවාවක් ඇතිකිරීම පිණිස , අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ විසින් ශ්‍රී ලංකාවේ බස් ව්‍යාපාරය ජනසතු කරන ලදී. පෞද්ගලික බස් රථ සමාගම් 76 ක් සහ ඒවා සතු බස් රථ 3400 පමණ ජනසතු කෙරිණ. එතැන් පටන් රටේ බස් රථ ගමනා ගමනය අලුතින් පිහිටුවා ගන්නා ලද ලංකා ගමනා ගමන මණ්ඩලය යටතට පත් කෙරිණ.
ශ්‍රී ලංකාවේ පැවැති බස් ව්‍යාපාරය ජනසතු කිරීමට බලපෑ හේතු රැසකි. එය ව්‍යාපාරිකයන් අතලොස්සක් අත ක්‍රියාත්මකවූ අතර බස් රථ ධාවනය කිසිදු පාලනයකින් තොර විය. තමන්ට අවශ්‍ය ආකාරයට බස් රථ යොදවා තිබුණු අතර මගීන්ට ලැබුනේ අවම පහසුකම්ය. පිරී ඉතිරී ගිය බස් රථවල සමහර අවස්ථාවන්හි ගැටුම් පැවැති බවත් ඒවා පිහි ඇනුම් දක්වා දුර දිග ගොස් ඇති බවටත් වාර්තාවල සඳහන් වෙයි.
1930 මැද භාගය වනවිට ජනතාවගේ ආරක්ෂාව හෝ ඔවුන්ට පහසුකම් සැලසීම හෝ වෙනුවට ව්‍යාපාරිකයන් විසින් සිදු කළේ අධි අධික ලාභ ඉපැයීම පමණි. මෙවැනි අක්‍රමිකතා රැසක් පවතින අවස්ථාවකදී , බ්‍රිතාන්‍ය පාලනය විසින් 1940 දී පමණ ‘සීමා සහිත බස් සමාගම්; ආරම්භ කිරීම, මගී ප්‍රවාහන සේවය පාලනය කිරීම උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.
1958 ජනවාරි 1 දා ශ්‍රී ලංකා බස් ව්‍යපාරය ජනසතුකිරීමත් සමඟ ආරම්භ කල ලංකා ගමනා ගමන මණ්ඩලය සීග්‍ර වර්ධනයක් අත්කරගත් අතර වරක් එය සතුව බස් රථ 7000 ක් සහ සේවක සංඛ්‍යාව 50,000 ක් පමණ විය. එහෙත් පසුකාලීනව අකාර්යක්ෂම හා දූෂිත පරිපාලනය හේතුවෙන් එය පිරිහීමට ලක්වූ අතර 1979 දී ලංකා ගමනා ගමනය යලි පෞද්ගලිකකරණයට ලක් කිරීම හේතුවෙන් අද පවතින තත්වයට මගී ජනතාව ඇද වැටී ඇත. නාස්තිය, දුෂණය, සූරාකෑම, අකාර්යක්ෂමතාව මීට බලපෑ ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
විමලසේන හේවගේ