මේ වන විට ශ්‍රී ලංකාවේ කුරුඳු වල අනන්‍යතාව තහවුරු කරගත හැකිවී තිබේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක කුරුඳු සම්බන්ධව ජාන පරික්ෂණයට සම්බන්ධව ක්‍රියා කරන ලද විද්‍යාඥවරියකි.
ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කුරුඳුවල ගුණාත්මක භාවය සම්බන්ධව පළ වු ලිපියක් කියවිමෙන් පසුව කුරුඳු පිළිබඳව පර්යේෂණ කිරිමට උනන්දුවක් ඇති වුවා යැයි මහාචාර්යවරිය කියා සිටියාය.
“1826 දී බොටනිකල් නම දෙනකොට ඒ කට්ටිය පාවිච්චි කරළා තියෙන්නේ ඉන්දියාවේ ටයිප්ස්පෙසිමන් (Type specimen) එකක් එතකොට තමයි ඔය සිනමාමම් වේරම් (Cinnamomum verum) කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපේ අය ගිහිල්ලා සිනමාමම් සෙලනිකම් (Cinnamomum zeylanicum) නම අපිට ඕන කියලා තියෙනවා. එතකොට එයාලා අපේ එකත් ඉන්දියාවේ එක වගේ කෙමිකලුත් එක සමානයි ඒක නිසා අපිට ඕගොල්ලන්ට නම දෙන්න බැහැ මේක අපිට කන්සිඩර් කරන්න පුලුවන් වෙන්නේ සිනෝනිම් එකක් විදියට කියලා තියෙනවා.” යැයි මෙරට කුරුඳුවල විද්‍යාත්මක නාමයේ ගැටලු ඇති වු ඉතිහාසය ඇය පැහැදිලි කළාය.
ඉන්දියාවේ ඇති කුරුඳුවලට වඩා වෙනස්
සිලෝන් සිනමන් හෙවත් සත්‍ය කුරුඳු ඇත්තේ ලංකාවේ පමණක් බව මෙන්ම ඉන්දියාවේ ඇති කුරුඳුවලට වඩා වෙනස් ඒවා බව වසර 200කට පමණ පසුව මහාචාර්යවරිය ඇතුළු පිරිස සිය ජාන තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන එය පර්යේෂණ පත්‍රිකාවක පළ කර එම අනන්‍යතාවය ලංකාවට ලබා ගැනිමට සමත්ව ඇත.
ඉන්දියාවේ කුරුඳු හා ලංකාවේ කුරුඳු බැලු බැල්මට එක හා සමාන මුත් ජාන තාක්ෂණයේ දී එහි වෙනස්කම් හඳුනාගැනීමට හැකි වු බව මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක පැවසුවාය.
“අපි හොයාගත්ත ජාන සංයුතියක කොටසක් අපි දෙගොල්ලො වෙනස් වෙන තැනක්, ඒකෙන් අපි ටෙස් කිට් එකක් හදලා තියෙනවා. එතකොට පිසීආර් ටෙස්ට් කරනවා වගේ කොවිඩ් ටෙස්ටින් වගේ එතකොට අපිට බෝතලයක් ගත්තොත් කියන්න පුලුවන් චීන එකයි, ඉන්දියාවේ එකයි, අපේ එකයි වර්ග තුනම තියෙනවා හෝ මේකේ තියෙන්නේ අපේ එක විතරයි කියලා.”
එම ක්‍රමය හරහා ලංකාවේ කුරුඳු සඳහා සහතියක් ලබා දෙන ක්‍රමයක් ලබා දී අපනයනය කිරීමට හැකි වුවහොත් ලෝක වෙළඳපළේ මෙරට කුරුඳු සඳහා වඩා වැඩි ඉල්ලුමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ද මහාචාර්යවරිය කියා සිටියාය.
ලෝක වෙළඳපොළේ වාර්ෂික කුරුඳු ඉල්ලුම මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවයි
කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව
මෙරට ආර්ථිකයට කුරුඳුවලින් ලැබෙන දායකත්වය නිසාම එහි වැදගත්කම සලකා රජය විසින් පසුගිය වසරේ සිට කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇත.
එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කුරුඳු වගාව වැඩියෙන්ම සිදුවන ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රදේශයේ ය.
“කුරුඳු බෝගයේ වගාවේ ඉඳලා අපනයනය දක්වා සියලුම කටයුතු නියාමනය වෙන්නේ මේ දෙපාර්තුමේන්තුවෙන්. කුරුඳු අලුතින් වගා කරන්න, තියෙන ඉඩම්වල ඵලදායිතාවය වැඩි දියුණු කරන්න, සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අගය වැඩි කරපු නිෂ්පාදන හදලා අලුත් වෙළඳපොළවල්වලට ඒවා යවන්න කටයුතු කරමින් යනවා මේ දෙපාර්තුමේන්තුවෙන්.” යැයි එම දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනක ලින්දර බීබීසී සිංහල වෙත පැවසීය.
ලෝක වෙළඳපොළේ වාර්ෂික කුරුඳු ඉල්ලුම මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවයි. 2023 වසරේ දී මෙරටින් කුරුඳු ටොන් දහනම දහස් හයසියකට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.