උදෑසන සීනුවට
ගුරුතුමී විත් පන්තියට
බෙදනවා එක එක
බුදු දහම උත්තර පත්‍ර
ලකුණුත් එක්ක ම
හදිසියේ කන වැකෙන
සැරෙන් හඬනා හඬකින්
හැරී බලනවා ඇය
හඬනවා සිසුවෙක්
හිස තබාගෙන මේසයට
“ඇයි පුතේ ඔය
තියෙනවා නේද
ලකුණු අනූ නවයක් ම
ඔයා තමයි හොඳ ම ළමයා
බුදු දහමට මේ පාර”
“ඒ වුණත් දුකයි ටීචර් මට
අඩු වුණු ලකුණ ගැන
ගත්තා නම් ඒක
සීයක් ම වෙනවා මට
ලැබෙනවා ගෙදරින්
තෑගි එහෙමත් එමට”
පසුපස ම පේළියේ
හිඳින එක් සිසුවෙක්
අඳෝනා අතරින්
පැමිණ හෙමිහිට
අල්ලා සාරි පොටෙන්
සිනාසෙනවා ඇයට
මෙතෙක් හිනැහුණු
වත මඩල මත
තබා ඔරවන වෙස් මූණක්
බලනවා ඇය
දරුවාගේ සිනා පිරි මුව
“මොකද ?
ඔයාටත් ඕනෙ ද ලකුණු
දන්නෙ නෑ මොකවත් ම
අඩු ම ලකුණු බුද්ධාගමට
පන්තියේ හැට දෙනාගෙන්
ඔය ළමයා මොකට
එබෙනවාද මෙතනට”
කිසි අඩුවක් නොකර
සිනාවෙහි රැඳුණු මුව මත
කියනවා දරුවා
බලාගෙන ඈ දෙස
“ලකුණු නම් එපා මට
ඒත් දෙන්න බැරි ද මෙයාට
මට තියෙන එක ම එක ලකුණ
ඔය ලකුණට වඩා වටිනවා මට
යාළුවා හිනාවෙන එක”
~ නුවන් තොටවත්ත ~
( “ග්ලැසියරයක ප්‍රේමය” කාව්‍ය සංග්‍රහය