අමාරුදේව  මතක වත

අමාරුදේව මතක වත

අමරදේවයන් පිළිබඳව කථා බොහෝය . එතුමන් ගේ ගීත මෙන්ම රසවත්ය . මේ කථාව දිග හැරියේ රසවත්ව කථා කීමෙහි සමත් කරුණාරත්න අමරසිංහයන්ය .

මහාාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ නාට්‍ය හා නවකතා නිෂ්පාදනයට පමණක් නොව ප්‍රකට සංඥා නාම පාදක කොටගෙන විකට සංඥා නාම නිෂ්පාදනයටද පරම ශූරයෙකි. එහි ලා ඔහු තන්වැසි , මුකරි සිංහල ගැමියන්ට දෙවැනි නොවන්නෙකි. අමරදේව හා ‘අමාරුදේව’ යන විකට නාමකරණය වනාහී මහාචාර්ය සරච්චන්ද්‍ර මහාශයන්ගේ තත් ශූරත්වය මනාව සනාථ කරන සාක්ෂාත් සාක්ෂියකි. ‘අමාරුදේව’ යනු මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ චරිතයේ සහජ ප්‍රකෘතියක් සදය සරදමට ලක් කිරීම සඳහා සරච්චන්ද්‍රයන් විසින් නිපදවන ලද විහිළු නමකි. එහෙත් එය හුදෙක් උපහාසය පිණිස මිස අපහාසය පිණිස නිපදවූවක් නොවේ.

තම ආත්ම අපදාන වෘත්තාන්තය වන ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ යන කෘතියෙහි ලා සරච්චන්ද්‍රයන් පවසන මෙවදන් අසන්න!
“මගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ නම් නාට්‍යයට තනු නිර්මාණය කරවා ගැනීම පිණිස මම කොළඹ විත් ඔහු (අමරදේවයන්) මගේ මොටෝ රියෙහි නංවාගෙන පේරාදෙණියට ගියෙමි. මුළු ගමනෙහිදී කිසියම් රාගාලාපයක් මුමුනමින් අතින් මුද්‍රා දක්වමින් නිලඹරෙහි පියාසර කරමින් හුන් ඔහු මා ගෙදරට පැමිණ කාර් එක නතර කළ විට යළි පොළොවට බැස්සා සේ වට පිට බලා “අපි පේරාදෙණියට ආවද?” යි මවිත වී ඇසුවේය.

ඒ වේලාව රාත්‍රී අටට පමණ ඇත. මම ඔහුට කන්ට බොන්ට සලසා නිදාගන්ට කාමරය පිළියෙළ කොට දී “අපි හෙට උදේ නැගිටලා අපේ වැඩේ පටන් ගනිමු” යි කියා නිදන්ට ගියෙමි. උදේ පාන්දර මම තේ කෝප්පයකුත් වක්කරවාගෙන ඔහුගේ කාමරයට ගියෙමි. ඔහු කඩිමුඩියේ ඇඳුම් අඳිමින් හුන්නේය.

“ඇයි මේ අඳින්නෙ?” යි මම ඇසීමි. ඔහු සමාව අයදින්නෙකුගේ විලාසයකින් යුතුව “යන්න ඕන ඩොක්ට ” යි කීවේය.
“කොහේද?”
“කොළඹ”
“එතකොට අපේ වැඩේ?”
“ඒකට වෙන දවසක එන්නම්. ඩොක්ට එන්න ඕන නෑ. මං කෝච්චියෙන් එන්නම්”
“ඇයි ඉතින් මේ හදිසියෙන් යන්නෙ?”
ඔහු ආයාසයෙන් මඳ සිනාවක් පාමින් “අද පන්තියක් තියෙනවනෙ. මට මතක නැති වුණා.” යි කීවේය.
“කීයටද?”
“උදේ.”
“ඉතින් කොහොමද දැන් යන්නෙ? පරක්කු වෙනවනෙ.”
“පරක්කු වෙලා හරි යන්න ඕන. මාව ගිහිල්ල ඉස්ටේසමට ඇරලනවද?”
(289,290 පිටු)
සරච්චන්ද්‍රයන්ගේ එම අත්දැකීම අනුව ඔහු අතින් අමරදේවයන්
අමාරුදේවයන් වීම කවර අරුමයක්ද? මෙම සරච්චන්ද්‍රීය නාමකරණය පිටුපස තවත් අපූරු දෙයක් ඇත. එනම් සරච්චන්ද්‍රයන් මේ විකට පටබැඳීම කළේ ඔහු විසින්ම පටබඳින ලද ප්‍රකට නාමයටම වීමය. ඇල්බට් පෙරේරා අමරදේව බවට පත් කිරීමද සරච්චන්ද්‍ර මහැදුරාණන්ගේම සත් කර්තව්‍යයක්මැයි. ‘එදිරිවීර රංජිත සරච්චන්ද්‍ර’ බවට පත් යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා විසින් ඇල්බට් පෙරේරා , අමරදේව බවට පත් කරනු ලැබීම කවර අරුමයක්ද!
(සරච්චන්ද්‍රයන් පළමුව එදිරිවීර රන්ජිත සරච්චන්ද්‍ර ලෙසින් නම වෙනස් කරගෙන සිටි බව මා අසා දැනගත්තේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුවිනි. ‘රංජිත’ යන්න අත් හැරීමට හේතුව සරච්චන්ද්‍රයන්ගෙන් විමසා දැනගන්නට මට කල්පනාවක් නොවුණි.)

රසාවිෂ්ට වන ප්‍රකෘතිය
අමරදේවයෝ වනාහි ගායනයේදී වාදනයේදී හා නිර්මාණයේදී පමණක් නොව හුදකලාව සිටියදී පවා
ස්වයංභූ භාව ලෝකයකට ඉබේම පාවී ගොස් රසාවිෂ්ට වන ප්‍රකෘතියක් ඇත්තෙකි. එවිට ඔහුට තමා නොදැනුවත්වම විෂය ලෝකය අමතකව යයි. සමාධියට සම වැදුණු යෝගාවචරයෙකුගේ ස්වභාවය භජනය කරයි. එහෙත් එය හුදු සංගීත සමාධියම මිස අනිකක් නොවේ. එසේ සමාධියට සම වැදෙන තුරු ඔහුගෙන් කිසිවක් පහළ නොවෙයි. එවැනි ප්‍රකෘතියක් ඇත්තෙකුගෙන් පල නෙළීම සුකර කාර්යක් විය හැක්කේ කෙලෙසද? මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ‘අමාරුදේව’ යන සදය උපහාස පදය නිපදවන ලද්දේ අමරදේවයන්ගේ මේ සහජ ප්‍රකෘතිය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මිස ඔහු කෙරෙහි වූ බින්දු මාත්‍ර හෝ අනාදරයකින් නම් නොවන බැව් නියතය.

 

 

Related Articles