අමරදේවයන්ගේ සුලලිත මියුරු සර මීට සත් වසකට පෙර (නොවම්බර්ර් තුන්වනදා 2016) සදහටම නිහඬ වුවද ඒ හඬ රසික සිත් සතන් තුල සදා රැව් දෙනු ඇත. මේ සටහන් පෙළ අමර මතක සමුදාය සිතින් ස්පර්ශ කරන්ට දරන උත්සාහයකි .
ඈත කඳුකර හිමව් අරණේ ගීතය උපන් හැටි අමරදේවයන් වෙතින් :
“ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනාව වාදනය කරමින්ම අමරදේව එය ගායනා කරන්නට විය. එය ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙන ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක් විය.”
(මහගම සේකරගේ ගීත, පි. 6-7)
මෙය සම්පූර්ණයෙන් සත්‍යයකි. සේකර රචනා කළ සැම ගීතයක් මෙන්ම මා ගායනා කෙළේත්, ඒවාට සංගීතය සැපැයුවේත් මේ පදනම මත පිහිටා ය. සේකරගේ මේ ප්‍රකාශය සමඟම එවන් අපූරු තවත් සිද්ධියක් මගේ මතකයට නැඟේ:
පුන් සඳින් ගලනා සඳ කැන් මිහි කත සිප ගනී. ශේන් (පලිහක්කාර) ගේ නිවහන කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබිණ. ඒ රාජගිරියේ මාදින්නාගොඩ ය. නිවහන වටා සුදු වැලි අතුල මිදුල ය. සුදු වැලි මතින් සඳ රැස් ගලා බසී. සේකරත්, මමත් දැන් සඳ කැන් සිඹිනා සුදු වැලි මත ය. සේකර මුමුණන්ට වූයේ ය. මුවින් එක් එක් පද ගිලිහිණ. අපි දෙදෙන ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කරදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය:
“ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ.
සැඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළඳ ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා වෑහෙන්නේ.”
එක් දහස් නව සිය හැට ගණන්වල කළ නළ දමයන්ති මුද්‍රා නාටකයේ තේමා ගීතය බිහි වූයේ එසේ ය.