දීර්ඝ කාලයක් පුරා පවතින සමාජීය හෝ සංස්කෘතියක ගැටලුවක් පුළුල් ලෙස චිත්‍රපට ආකෘතියක් තුළට ග්‍රහණය කර ගැනීම විශාල අභියෝගයක්. එය කරන්න අමාරුයි. නමුත් නවකථාවකට බොහෝ විට සූක්ෂ්ම කරුණු සොයා බලා දීර්ඝ විස්තර ගෙන හැර පාමින් සාකච්ජා කිරීමේ ඉඩකඩක් තිබෙනවා. මෙය සිනමා විචාරකයන් ගෙන එන තර්කයක්. නමුත් මහා සිනමාකරු සත්‍යජිත් රායි මේ තත්වය අභික්‍රමණය කර ඇති බවයි මට දැනෙන්නේ ‘ සිනමා විශ්ලේෂකයකු, ගුරුවරයකු සහ කැමරාකරණයේ ප්‍රවීණයකු වන එම්.ඩී.මහින්දපාල එසේ ප්‍රකාශකලේ ඔස්කා සම්මානලාභී, බෙංගාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුවූ සත්‍යජිත් රායි ගැන කථාබහකට එක්වෙමින්.
සත්‍යජිත් රායි යනු ඉන්දියානු ජනජීවිතයේ සංකීර්ණතා සිය චිත්‍රපටවල සියුම් ලෙස නිරූපණය කිරීමට සමත්වූ, ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාකරුවෙක්. එසේම ඉන්දීය සිනමාව ජාත්‍යන්තර තලයේ තැබූ සිනමාවේදියා ඔහුයි. චිත්‍රපට විචාරකයන් විසින් සත්‍යජිත් රායි හඳුන්වා ඇත්තේ එසේයි.
”සත්‍යජිත් රායි සිය ප්‍රථම සිනමා නිර්මාණය වූ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයෙන්ම මේ කුසලතාව පෙන්නුම් කළා. බෙංගාලයේ එදිනෙදා ජන ජීවිතයේ අව්‍යාජත්වය සහ ජනතාවගේ චිත්තවේගී හැගීම් ගැඹුරින් හා යතාර්ථවාදී ලෙස නිරූපණය කිරීමට ඔහු සමත්වී තිබෙනවා”, සිනමාවේ සහ රූපවාහිනී කැමරාකරණයේ බහුවිධ අත්දැකීම් ඇති එම්.ඩී.මහින්දපාල, සිනමාකරු සත්‍යජිත් රායිගේ සුවිශේෂී දස්කම් අගයකරමින්
තවදුරටත් කියා සිටින්නේ රූපයෙන් සහ ශබ්දයෙන් ප්‍රකාශ කල නොහැකි සංකීර්ණ මනෝභාවයන්, සිද්ධි හා සංකේත භාවිතා කරමින් අපූර්ව ලෙස සිනමා පටයේ රඳවා තැබීමට ඔහු සමත්වී ඇති බවයි.
”හිත ඇතුලේ තියෙන මනොභාවයන් සිදුවීම් ඔස්සේ නිරාවරණය කිරීම අමාරු වැඩක්. එහෙම කරන සිනමාකරුවන් ඇති නැති තරම්. චරිතවල අභ්‍යන්තරයට කිඳාබැහැල චෛතිසික සංකීර්ණතා නිරාවරණය කිරීම ඔහුගේ සුවිශේෂී හැකියාවක්’’
‘පාතර් පංචාලි’ 1929 දී බෙංගාලී ජාතික ලේඛක, විභූතිභුෂන් භාන්ධ්යෝපාධ්යාය විසින් ලියන ලද නවකතාවක්. 1955 දී සත්‍යජිත් රායි විසින් චිත්‍රපටයට අනුවර්තනය කරන ලද එය ග්‍රාමීය ජන ජීවිතය තත්වාකාරයෙන් රූපණය කරන විශිෂ්ටතම සාහිත්‍ය කෘතිවලින් එකක් ලෙස සැලකේ.
‘පාතර් පංචාලි ‘ – අපු ත්‍රිත්වය නමින් හැඳින්වෙන, නවකථා ත්‍රිත්වයක පළමුවැන්න වන අතර දෙවැනි සහ තුන්වැනි කොටස් ‘අපරාජිතෝ’, සහ ‘අපුර් සන්සාර්’ නමින් සිනමාවට නැගිණ. අපු ත්‍රිත්වය (පාතර් පංචාලි, අපරාජිතෝ, අපුර් සංසාර්) බෙංගාලි ගම්මානයක පවුලක කුඩා පිරිමි ළමයෙකු වන අපුගේ ජීවිතය පිළිබඳව ගෙතෙන අතර දුප්පත්කම, අධ්‍යාපනය සහ පවුල යන තේමාවන් යටතේ සාකච්ජා කෙරේ.
”සත්‍යජිත් රායි චිත්‍රපට නිෂ්පාදනයේ බහුවිධ පැතිවලින් විශිෂ්ටයකු වශයෙන් හැඳින්විය හැකියි. ඔහු අධ්‍යක්ෂවරයකු පමණක්ම නොවයි. ඔහු තිර නාටක රචනා කළා. නිෂ්පාදන කට්ටල සහ ඇඳුම් නිර්මාණය කළා. කැමරාශිල්පියකු ලෙස කටයුතු කළා. සංගීතය රචනා කළා. ‘චාරුලතා’ චිත්‍රපටයට ඔහුගේම සංගීතය යොදා ගැනීම හොඳ උදාහරණයක් ”, තවත් පැත්තකින් හොඳ චිත්‍රශිල්පියකු වූ ඔහු මේ සියලු පැතිවලින්අත්හදාබැලීම් සිදුකල බවයි සිනමා විශ්ලේෂක එම්.ඩී.මහින්දපාල පවසන්නේ.
සිද්ධියකට අදාළව, පරිසරයෙන්ම සොයා ගන්නා ගහ, කොළ, වැව් සහ පරිසරයෙන් මැවෙන ශබ්ද සංකේතාත්මකව යොදා ගනිමින් භාවාතිශය ලෙස චරිත පනගැන්වීම අති විශිෂ්ට බව පවසන ඔහු, සත්‍යජිත් රායි තවදුරටත් අගයකරන්නේ මෙලෙසයි.
”ඔහු සරල දෑ භාවිතා කරමින් ඉතා ප්‍රබල රූප ගොඩ නගනවා. මේ බව ඔහුගේ පළමු සිනමා කෘතිය වන ‘පාතර් පංචාලි’ චිත්‍රපටයම උදාහරණයට ගත හැකියි. නවකථාවේ ඇතුලත් සමහර මගහැරුණ තැන් තියෙනවා. එය උවමනාවෙන්ම කල දෙයක් වෙන්නත් පිළිවන්. ”පාතර් පංචාලි’ අඩු පහසුකම් යටතේ කල චිත්‍රපටයක්. නමුත් ඒ බව සිනමා පටයේ පෙන්නේ නැහැ. ඊට හේතුව තමයි මනාව චිත්‍රපට භාෂාව යොදා ගැනීම. චිත්‍ර පටයේ කළා අධ්‍යක්ෂවරයා සහ සංගීතය සැපයූ රවී සංකර් හැර නළු නිලියන් ඇතුළු සියලු දෙනා ආධුනිකයෝ, මේ ඔහු ගත් අභියෝගයක්.
මෙය ඔහුගේ හොඳම චිත්‍රපටය ලෙසටයි සැලකෙන්නේ. එසේම නවකතාවට වඩා චිත්‍රපටය හොඳ බවටත් පිළිගැනෙනවා”
“සත්‍යජිත් රායි චිත්‍රපට කරන විට ශබ්ද නිර්මාණකරනය (sound design) සිනමාවට ඇවිත් තිබුනේ නැහැ. එහෙම ගැඹුරු කතිකාවක් තිබුනෙත් නැහැ. ශබ්ද නිර්මාණකරනයෙන් කෙරෙන්නේ ශබ්දය හා රූපයට අමතරව ඒ හරහා තුන්වන අරුතක් ගෙන ඒමට උත්සාහ දැරීමක්. විශේෂයෙන් හිත ඇතුලේ තියෙන දේ සියුම්ව ගෙන හැර දැක්වීම. සත්‍යජිත් රායි මේ ශිල්පීය ක්‍රමය 1955 දී පවා යොදා ගන්නවා; පාතර් පංචාලි’ – සිය පළමු චිත්‍රපටයෙම.
‘පාතර් පංචාලි’ චිත්‍රපටයේ ආපු සහ දුර්ගා වෙල්යායක් හරහා ගොස් පිවිසෙන්නේ මානා පඳුරු සහිත පරිසයකට. මෙහිදී ගම හරහා වැටුණු විදුලි රැහැන් කණුවක් දකින ඔවුන් ඊට කන තබා ඉන් නැගෙන හඩට කන් දෙන අතර ඔවුනට ඈතින් දිවෙන දුම්රියක හඬ ඇසේ. එය දිස්වේ. කුළුණ සහ දුම්රිය ඔවුන්ගේ ග්‍රාමීය දිළිඳු ලෝකයට නූතනත්වයේ බලපෑම සිදුවන ආකාරය කියා පායි. ඔවුන්ගේ ග්‍රාමීය ජීවිතයේ සරල බව වේගවත්, නවීන ලෝකය සමඟ සංසන්දනය කරන සත්‍යජිත් රායිගේ උත්සාහය වන්නේ, ශබ්ද නිර්මාණකරණය තුලින්, කුඩා ළමුන් දෙදෙනා – ආපු සහ දුර්ගා ඔවුන් වටා දකින වෙනස්කම් සමඟ පොරබදමින් සිටින ආකාරය ප්‍රකාශ කිරීම බවයි සිනමා විශ්ලේෂක මහින්දපාල පවසන්නේ.
ශබ්ද නිර්මාණකරනය
නමුත් ”ශබ්ද නිර්මාණකරනය (sound design) යන යෙදුම චලන චිත්‍ර කර්මාන්තයේ භාවිතා කිරීම ආරම්භ වන්නේ හැටේ දශකයේදීයි. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු සහ තිර රචකයකුවූ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා (Francis Ford Coppola) විසින් 1969 දී වෝල්ටර් මර්ච්(Walter Murch) හට “ද රේන් පීපල්” චිත්‍ර පටයේ ඔහුගේ දායකත්වය සඳහා ප්‍රථම නිල ශබ්ද නිර්මාණකරු නාමය පිරිනමනු ලැබුවා. මෙය හුදෙක් තාක්ෂණික ශබ්ද සංස්කරණයෙන් වෙන්ව ශබ්ද නිර්මාණයේ කලාත්මක සහ නිර්මාණාත්මක වැදගත්කම හඳුනා ගැනීමක්”. සත්‍යජිත් රායි සුවිශේෂී නිර්මාණකරුවකු වන්නේ 50 දශකයේදීත් මේ කුසලතාව ප්‍රදර්ශනය කල සිනමාකරුවකු නිසා බවයි, සිනමා විශ්ලේෂක එම්.ඩී.මහින්දපාල පවසන්නේ.
දරිද්‍රතාවයේ සම්පූර්ණ චිත්‍රය
දරිද්‍රතාවය කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු කරන බවට සත්‍යජිත් රායිගේ චිත්‍රපට විවිචනයට ලක්වූ අවස්ථා ඇත. විචාරකයන් තර්ක කරන්නේ ඔහුගේ චිත්‍රපට, විශේෂයෙන් ‘අපු ත්‍රිත්වය’, නියෝජනය කරන්නේ නිශ්චිත කලාපයක් සහ සමාජ ආර්ථික පන්තියක් මිස ඉන්දියාවේ දරිද්‍රතාවයේ සම්පූර්ණ චිත්‍රය නොවන බවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකාවෙත් විචාර ලිපි පලවී තිබේ. නමුත් 1992 අප්‍රේල් 23 දා සිනමාවෙන් සදහටම සමුගත් ඔස්කා සම්මානලාභී, බෙංගාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුවූ සත්‍යජිත් රායිගේ ‘අපූ ත්‍රිත්වය’ ප්‍රදර්ශනය කොට ඒ ගැන සාකච්ජා නොකරන සිනමා පාඨමාලාවක් හෝ වැඩමුළුවක් අදටත් නොමැති බවයි විශ්ලේෂක එම්.ඩී.මහින්දපාල පවසන්නේ.
“ඔහුගේ චිත්‍රපට දරිද්‍රතාවයෙන් ඔබ්බට යනවා. ඔහු විවිධ තේමා සහ සමාජ පන්ති ගවේෂණය කරමින් චිත්‍රපට 29ක් නිර්මාණය කොට තිබෙනවා. ඔහු දුප්පත්කම උත්කර්ෂයට නංවන්නේ නැහැ, නමුත් එහි ජීවත් වන මිනිසුන්ගේ අරගල සහ ඔරොත්තු දීමේ හැකියාව නිරූපණය කරනවා”, විශ්ලේෂක එම්.ඩී.මහින්දපාල ප්‍රශ්න කරන්නේ සැබෑ ජීවන ප්‍රශ්න හදවත ස්පර්ශ කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීම වරදක්ද යන්නයි?
විමලසේන හේවගේ